පාර්ලිමේන්තු සංසදයට එන්න සරත්ට වීසා දෙන්න බෑ!: අමෙරිකාව මෙරට පාර්ලිමේන්තුවට දන්වයි

MonaraMonara

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ආයතනය විසින් අමෙරිකාවේ දී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරුන්ගේ වැඩමුළුවකට සහභාගි වීමට නම්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාට අමෙරිකානු වීසා ලබා දීම අසීරුබව රාජ්‍ය තාන්ත්‍රිකව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග මොනරා වෙත වාර්තා කරනවා.

එළෙස සරත් වීරසේකර මන්ත්‍රීවරයාට වීසා ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට හේතු ලෙස දක්වා ඇත්තේ යුද සමයේ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණයක් බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අදාළ වැඩමුළුව සඳහා සහභාගි වීමට නියමිත ව සිටින, එම කණ්ඩායමේ නායකත්වය දරණ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ද කිසියම් නඩු කඩයුත්තක් මුල් කරගනිමින් වීසා නිකුත් නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වන අතර, ඒ සම්බන්ධයෙන් මොනරා අදාළ ආරංචි මාර්ගයෙන් කළ කරුණු විමසීමේ දී සඳහන් කර සිටියේ, තවමත් එවැන්නක් නිල වශයෙන් දැනුම් දී නොමැති බවයි.

මේ අතර පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති ධූරය දරන පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාර්ලිමේන්තු සේවාව මසකට තහනම් කර ඇති බැවින් ඔහුට ද මෙම සංචාරය අහිමිවනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වනවා.

මේ අතර අමෙරිකාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන්ට සම්බාධක පනවා ඇතැයි වෙබ් අඩවියක් වාර්තා කරනවා.

ඒ සම්බන්ධයෙන් අදාළ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ගම්මන්පිළ මන්ත්‍රීවරයා පවසා තිබුණේ, මිට වසර ගණනක සිට අමෙරිකානු රජය විසින් තමාට එරටට ඇතුළුවීම තහනම් කර ඇති බවත්, බලශක්ති අමාත්‍යවරයා ලෙස 2022 දී ඇමරිකාවේ පැවති ජාත්‍යන්තර සමුළුවකට සහභාගිවීමට තමා විසා ඉල්ලීමක් ඉදිරිපත් කළ අවස්ථාවේ ඇමරිකානු රජය විසා ලබාදීම ප්‍රතික්ෂේප කළ බවයි.

මේ අතර තමාගේ බිරිඳ සහ දරුවන් ඔස්ට්‍රෙලියාවේ පදිංචිව සිටිය ද ඇමරිකාවේ මෙම විසා තහංචිය පදනම් කරගනිමින් ඔස්ට්‍රෙලියාව තමාට එරටට ඇතුළුවීමට විසා ලබාදීම අත්හිටුවා ඇතැයි මන්ත්‍රීවරයා එම වෙබ් අඩඩියට වැඩිදුරටත් පවසා තිබුණා.