බෙදන බෙදිල්ල ගැන සජිත් කියයි: අංක එක වෙන්න වැඩ කරන හැටිත් පහදයි
රට ගොඩගැනීමට නම් ආර්ථිකය වර්ධනය කළ යුතු වුවත්, වත්මන් රජය ආර්ථිකය සංකෝචනය කරමින් යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ වැට් බදු වැඩි කර ජනතාව පිට තවදුරටත් බදු බර පටවා ඇති මොහොතක ව්‍යාජ සංඛ්‍යාලේඛන සහ දත්ත ඉදිරිපත් කර තුන්වැනි වතාවටත් විදුලි බිල වැඩි කර ඇති බවයි.
එවැනි තීන්දු තුළින් ආර්ථිකය කුඩා කිරීමෙන් රටක් දියුණු කළ නොහැකි බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.
එබැවින් වැඩ කරන යුගයක්, නිෂ්පාදන හා අපනයන යුගයක් නිර්මාණය කිරීමට අලසකමින් තොරව සියලු දෙනාම සූදානම් විය යුතු බවයි විල්ගමුව උඩුවෙල ශ්‍රී ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානයේ ආවාස ගෙය විවෘත කිරීමට අවස්ථාවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ.
ලෝකයේ අංක 1 වීමට නම් කයිවාරු ගැසීමෙන් තොරව වැඩ කළ යුතු බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා සමගි ජන බලවේග රජයක් තුළ සදාකාලික සහනාධාර නොමැති නමුත් නැගී සිටීමට අවැසි සියලු ශක්තීන් ලබා දෙන බව කියා සිටියා.
එසේම සමගි ජන බලවේගය විසින් හුස්ම, සක්වල වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන විට බෙදන සංස්කෘතියක් ඇති කර ඇති බවට චෝදනා කරන බවත් සමගි ජන බලවේගය බෙදන බෙහෙත්, පරිගණක සහ බස් ආදිය අධි පොහොසතුන්ට සුපිරි කෝටිපතියන්ට වැදගත් නොවූවත් එය 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට වැදගත් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළා.
හොරකමින්, වංචාවෙන් තම පවුල්වල සාමාජිකයන්ට හිතමිතුරන්ට රටේ සම්පත් බෙදා දීමට වඩා ජනතාව වෙනුවෙන් යමක් ලබාදීම වටිනා බවත්, එලෙසම එම බෙදාදීම් සදාකාලික බෙදිල්ලක් නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.