නොනවතින වැස්ස සමග ගංවතුර අවදානමක්: ප්‍රදේශ කිහිපයකට ජනතාවට අනතුරු ඇඟවීම්
පවතින අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ ද්‍රෝණියේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඔවුන් පවසන්නේ, මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි ලෙස සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ද්‍රෝණියේ ගංවතුර පිටාර තැන්නට අයත් ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
ඊයේ දින සිට මේ දක්වාම දිවයිනේ බස්නාහිර සහ දකුණු පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සබරගමුව සහ මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලත් සැලකිය යුතු වර්ෂාපතනයක් ඇති වී තිබෙන අතර ඇතැම් ප්‍රදේශවල තවදුරටත් වර්ෂාපතන තත්ත්වය පවතිනවා.
ඒ අනුව මෙම ප්‍රදේශ හරහා ගලා බසින ප්‍රධාන ගංගාවල ජල මට්ටම් සැලකිය යුතු මට්ටමකින් ඉහළ යමින් පවතින බවයි එහි වාරිමාර්ග අධ්යක්ෂ, ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර මහතා පවසන්නේ.
“විශේෂයෙන්ම කොටපොල, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය ඒ වගේම මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර කියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට මේ ගංවතුර තත්ත්වය ඇතිවීමේ අවදානම පවතිනවා. මේ ප්‍රදේශයේ මහජනතාවගෙන් මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්න කැමතියි. ඒ වගේම මේ ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ග හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් විශේෂයෙන්ම අතුරු මාර්ග හරහා ගමන් ගන්නා රථ වාහන රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් මේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා දඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.
විශේෂයෙන්ම ගංවතුරට යටවී ඇති මාර්ග ඇත්නම් ඒ හරහා ගමන් කිරීමෙන් වැළකී සිටීම වඩා සුදුසු බව සඳහන් කළ යුතුයි. ඒ වගේම කළු ගඟ ද්‍රෝණියේත් කුඩා ගඟ උප ද්‍රෝණියේත් කුකුළේගඟ විදුලිබලාගාර ජලාශයේ වාන් දොරටු විවෘත කරලා මේ වනවිට තත්ත්පරයට ඝන මීටර 100ක ධාරිතාවකින් පහළට ජලය ගලා ගෙන යනවා.. මේ තත්ත්වය මත ගංවතුර තත්ත්වයක් පහළ ඇතිවීමේ දැඩි අවදානම් තත්ත්වයක් පවතිනවා ඉදිරි පැය කිහිපය තුළ.. විශේෂයෙන්ම බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ කුඩා ගඟ උප ද්‍රෝණිය හරහා වැටී ඇති මාර්ගයේ ඇතැම් ස්ථාන ඉදිරියේ දී ගංවතුරට යටවීමේ අවදානමක් පවතිනවා..”