යළි ගොඩ එන ෂාෆ්ටර් - ආවරණයට ගිය මාධ්‍යවේදීන්ට පොලිසියෙන් බාධා: වැඩිදුර විමර්ශන සඳහා ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය, අද යළි ගොඩ ගනී

MonaraMonara

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය, වැඩිදුර විමර්ශන සඳහා ගොඩගැනීම අද උදෑසන 08.30ට ආරම්භ කෙරුණා.

ඒ, විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේයි.

එම ස්ථානයට පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය ද පැමිණ සිටි අතර දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පවුලේ ඥාතීන් ද එම ස්ථානයට පැමිණ සිටි බවයි ‘’මොනරා” වාර්තාකරු සඳහන් කළේ.

‌ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය ගොඩගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ඒ, ඔහු‌ගේ මරණයට හේතුව සෙවීම සඳහා දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇතැයි පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය අධිකරණයෙන් කළ ලිඛිත ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

MonaraMonara

ව්‍යාපාරික දිනෙෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය මීට සුළු ‌මොහොතකට පෙර ගොඩ ගැනුණා.

සාක්ෂි සටහන් කිරීමේ මූලික අදියර ලෙස අදාළ සිරුරු කොටස් ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ද යන්න තහවුරු කර ගැනීමේ කටයුතු මේ වනවිට එම ස්ථානයේ දී සිදුකෙරෙන බවයි ''මොනරා'' අප වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම සුසාන භූමියෙන් ගොඩගත් මිනී පෙට්ටියේ ඇති සලකුණු තම මල් ශාලාවේම බවට ෂාෆ්ටර් මහතාගේ අවසන් කටයුතු සිදුකළ පෞද්ගලික මල්ශාලාවේ කාර්ය මණ්ඩලය විසින් තහවුරු කර තිබෙනවා.

MonaraMonara

අභිරහස් ලෙස මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත දේහය ගොඩ ගැනීමේ අවස්ථාව විවෘතව සිදුකරන ලෙස අධිකරණය දැනුම් දී තිබියදීත් එය ආවරණය කිරීම සඳහා ගිය මාධ්‍යවේදීන්ට බොරැල්ල පොදු සුසාන භූමියේ එය සිදුකෙරුණු ස්ථානයට ඇතුළුවීමට පොලිසිය අවස්ථාව ලබාදී නැහැ.

ඊයේ දිනයේදී මෙම සිදුවීමට අදාළ නඩුව මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පවුල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිරුර ගොඩ ගැනීමේ කටයුත්ත රහසිගතව සිදුකරන ලෙස නියෝගයක් ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත්, එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ සිරුර ගොඩගැනීමේ කටයුත්ත රහසිගතව සිදුකළ නොහැකි බවයි.

එවැනි අධිකරණ නියෝගයක් පවතිද්දී අද දිනයේදී පොලිසිය ෂාෆ්ටර් මහතාගේ දේහය මිහිදන් කරපු ස්ථානයේ විශාල ප්‍රමාණයක් ආවරණය කර තිබුණා.

එසේම, එය ආවරණය කිරීම සඳහා පැමිණි මාධ්‍යවේදීන්ටද ඔවුන් එම ස්ථානයට ඇතුළුවීමට අවස්ථාව ලබානොදුන් බවයි මොනරා වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.

අභිරහස් ලෙස මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත දේහය ගොඩ ගැනීමේ ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබානොදීම සම්බන්ධයෙන් "මොනරා" මගින් අනාවරණ කිරීමත් සමඟ මේ වනවිට බොරැල්ල පොදු සුසාන භූමියට ඇතුළුවීමට පොලිසිය අවස්ථාව ලබාදී තිබෙනවා.

මේ පිළිබඳව "මොනරා" වෙබ් අඩවිය ඔස්සේ අනාවරණය කිරීමත් සමඟ එම ස්ථානයට පැමිණි උසස් පොලිස් නිලධාරියෙකු බොරැල්ල සුසාන භූමියේ පිටත රැඳී සිටි මාධ්‍යවේදීන්ට ෂාෆ්ටර් මහතාගේ දේහය ගොඩගැනීමේ අවස්ථාව ආවරණය කිරීම සඳහා අවස්ථාව සලසා දුන්නා.

කෙසේ වෙතත්, එම අවස්ථාව වනවිටත් දේහය ගොඩ ගැනීම ඇතුළු ඊට අදාළ කටයුතු රැසක් සිදුව අවසන්ව තිබූ බවයි මොණරා වාර්තාකරු කියා සිටියේ.

MonaraMonara

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය ගොඩගැනීමේ අවස්ථාවක්.

MonaraMonara

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය බොරැල්ල පොදු සුසාන භූමියට පැමිණි අවස්ථාව.

අද දිනයේදී ගොඩ ගැනුණු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යෑමට නියමිතව තිබෙනවා.

සිරුර ගොඩ ගැනීමෙන් අනතුරුව එය ඥාතීන් විසින් හඳුනාගත් අතර, එය මුද්‍රා තැබීමෙන් අනතුරුවයි මෙලෙස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යෑම සිදු කෙරෙන්නේ.

දැඩි ආරක්ෂාවක් යටතේ මෙලෙස ඔහුගේ සිරුර රැගෙන යෑමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙන බව එහි සිටින "මොනරා" වාර්තාකරු කියා සිටියා.

අභිරහස් ලෙස මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත දේහය ගොඩ ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත අද දහවල් රැගෙන ගියා.

අද පෙරවරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබූ ඔහුගේ දේහය ගොඩ ගැනීමේ කටයුතු ආරම්භ කෙරුණු අතර, පසුව ඔහුගේ සිරුර ගොඩගනු ලැබුවා.

සිරුර ගොඩ ගැනීමෙන් අනතුරුව එය ඥාතීන් විසින් හඳුනාගත් අතර, එය මුද්‍රා තැබීමෙන් අනතුරුවයි මෙලෙස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යෑම සිදු කෙරුණේ.

පෞද්ගලික මල් ශාලාවකට අයත් අවමංගල රථයකින් ඔහුගේ සිරුර රැගෙන ගිය අතර, ඊට පොලිස් ආරක්ෂාවද ලබාදී තිබුණා.