වැස්සෙන් මී උණ අවදානමක්: කළ යුතු දෑ සහ නොකළ යුතු දෑ ගැන මෙන්න උපදෙස්

MonaraMonara

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග මේ වනවිට ජනතාවට මී උණ වැළඳීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

මේ වසරේ ගත වූ කාලය තුළ මී උණ රෝගීන් හත්දහසක් වාර්තා වී ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 127 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය තුෂානි දබරේරා මහත්මිය කියා සිටියේ.

කීර කොටුවල සේවය කරනා කාන්තාවන්ට සහ කුඹුරු වැනි මඩ සහිත භූමි ප්‍රදේශවලට සරුංගල් යැවීමට යන කුඩා දරුවන්ට මී උණ වැළඳීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවයි ඇය තවදුරටත් සඳහන් කළේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මී උණ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය පෙන්වා දුන්නේ ගම්පහ, කුරුණෑගල, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවල මී උණ වැඩි වශයෙන් ව්‍යාප්ත වන බවයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ පතල් ආශ්‍රිතව සේවය කරන පුද්ගලයන්ට අතර මී උණ වැළඳීමේ වැඩි අවදානමක් ඇති බවත් විශේෂඥ වෛද්‍යවරිය කියා සිටියා.

උණ,මස් පිඬු වේදනාව, ඇස් කහ පැහැ ගැන්වීම වැනි රෝග ලක්ෂණ දින තුනකට වඩා වැඩි කාලයක් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසයි ඇය ජනතාවට දැනුම් දෙන්නේ.

එසේම ගංවතුර හේතුවෙන් මේ වනවිට බොහෝ ප්‍රදේශවලින් මී උණ රෝගීන් වාර්තා වන බවද වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

තවද වාර්තා වන මී උණ රෝගීන්ගෙන් සියයට පහක ප්‍රමාණයක් නිසි වේලාවට ප්‍රතිකාර නොගැනීම නිසා මිය යන බවයි විශේෂඥ වෛද්‍ය තුෂාරි දබරේරා මහත්මිය කියා සිටියේ.

තවද කුඹුරුවල ඇති ජලය පානය කිරීමෙන් සහ මුහුණ සේදීමෙන් වළකින ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.

කුඹුරුවල අස්වැන්න නෙළීමේ කටයුතු සිදුකරන කාලය තුළ සති දෙකකට වරක්වත් මී උණ සඳහා ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ අදාළ පුද්ගලයන් විසින් ලබා ගැනීම සිදුකළ යුතු බවත්, එම ඖෂධ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ලබාගත හැකි බවත් මෙම මාධ්‍ය හමුවේදි අදහස් දක්වමින් ප්‍රජා විශේෂඥ වෛද්‍ය තුෂානි දබරේරා මහත්මිය කියා සිටියා.