පාතහේවාහැට සහ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවලට උසස්වීමක්: පාතහේවාහැට සහ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා, නගර සභා බවට පත් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එය මහනුවර නගර සංවර්ධන සැළැස්ම යටතේ ක්‍රියාත්මක කරන බවත් කියා සිටියා.

MonaraMonara

ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය.

මහනුවර නගරයේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් අති නවීන නගරයක් ලෙස එය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අවධාරණය කළා.

ඒ, මහනුවරට ගොස් මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව සිදුකළ කෙටි පිළිසඳරේදීයි.

මහනුවර මහනගර සැලැස්මට අදාළ සංවර්ධන කටයුතු මේ වසරේදී ආරම්භ කිරීමට කටයුතු කරන බවද මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළා.

රටේ සියලුම මග නගර සංවර්ධන සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කර අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා එහිදී තවදුරටත් සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

පාතහේවාහැට සහ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා, නගර සභා බවට පත් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එය මහනුවර නගර සංවර්ධන සැළැස්ම යටතේ ක්‍රියාත්මක කරන බවත් කියා සිටියා.

මහනුවර පැරණි බන්ධනාගාරය සහ තැපැල් කාර්යාලයේ ඓතිහාසික වටිනාකම් සුරක්ෂිත කරමින්, සංචාරක ආකර්ශනයට ලක්වන ප්‍රදේශයක් ලෙස සංවර්ධන කිරීම සඳහා වන සැලසුම් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

එමෙන්ම, කුරුණෑගල සහ ගලගෙදර දක්වා වන අධිවේගි මාර්ගය කටුගස්තොට දක්වා දීර්ඝ කිරීමට ඇති හැකියාවත්, ඉන් සැළසෙන ප්‍රතිලාභ පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ,

“මහ නගර සැලැස්ම යටතේ මෙම මහනුවර නගරය කඩිනමින් සංවර්ධනය කිරිමට මම බලාපොරොත්තු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථක කරගෙන ලබන සැප්තැම්බර් මාසය වන විට රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකි වෙයි කියා මම විශ්වාස කරනවා. ඉන් පසු රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බොහෝ ප්‍රමාණයක් ආයෝජන අවශ්‍ය වෙනවා. ඒ වගේම සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට ගෙන්වාගත යුතුයි. ත්‍රිකුණාමලය නව නගර සැලස්ම දැන් ක්‍රියාත්මකයි. මහනුවර මහනගර සංවර්ධන සැලැස්ම මේ වසරේ ආරම්භ කිරීමට අප කටයුතු කරනවා. ඉන් පසුව යාපනය මහ නගර සංවර්ධනය සිදු කරනවා.

ඒ වගේම ජපන් ආධාර යටතේ මහා විහාර විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි ථෙරවාදි බුදු දහම ඉගැන්වීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම කෘතීම බුද්ධිය සහ මනස පිළිබඳව ඉගැන්වීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.

ඒ වගේම කෘෂිකර්මය නවීකරණය කිරීම සඳහා අපි අවධානය යොමු කර තිබෙනවා.

ඉදිරියේදී හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 8 ක අස්වැන්නක් නෙළා ගැනීමට එමගින් හැකියාව තිබෙනවා. එක් කිරි ගවයකුගෙන් කිරි ලීටර් 10ක් ලබා ගැනීමේ හැකියාව මෙම කෘෂි නවීකරණ වැඩපිළිවෙල හරහා සිදු කළ හැකියි.

ඒ වගේම මහනුවර ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින් දවසක් හෝ දෙකක් රඳවා තබා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ඒ වගේම සංචාරක මගපෙන්වන්නන් ලියාපදිංචියත් ඉතා වැදගත්.

ඔවුන්ට දළදා මාළිගාව පිළිබඳව සහ බෞද්ධ ඉතිහාසය උඩරට ඉතිහාසය ගැන දැනුමක් ලබාදිය යුතු” බවයි.

ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය.ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය.

ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය.

ඉන් අනතුරුවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අස්ගිරි මහා විහාරයට පැමිණි අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගෙන කෙටි පිළිසඳරක නිරත වුණේ.

අස්ගිරි මහා විහාරයේ සංවර්ධන කටයුතු පිළිබඳව එහිදී ජනාධිපතිවරයා විමසා බැලූ අතර අස්ගිරි මහා නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා ඇතුළු පිරිස වෙත ආශිර්වාද පළ කළා.

ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය.ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය.

ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය.