ජනපති ජර්මනියට: වැඩ බලන්න රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ

MonaraMonara

Images - Google

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව ගොස් තිබෙනවා.

අද (27) අළුයම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව ගිය බවයි ගුවන්තොටුපළ අප වාර්තාකරු පැවසුවේ.

ජනාධිපතිවරයාගේ ජර්මනිය සඳහා පිටත්ව ගොස් ඇත්තේ, බර්ලින් ග්ලෝබල් සාකච්ඡාවට සහභාගී වීම සඳහා බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සාකච්ඡාවේ පළමු දිනයේ නායකයින්ගේ සංවාද සැසියේ අදහස් දැක්වීමට ද නියමිතයි.

වර්තමාන භූ දේශපාලන සහ ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ බර්ලින් ගෝලීය සංවාදය හෙට (28) සහ අනිද්දා (29) යන දෙදින පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජර්මනියේ නිල සංචාරය නිමා වී නැවත දිවයිනට පැමිණෙන තෙක් මුදල් අමාත්‍ය ධූරයේ රාජකාරි ආවරණය කිරීම සඳහා වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පත්කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා යළි පැමිණෙන කාලවකවානුව තුළ මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ වැඩ බැලීම, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් සිදු කරන බවයි.