අස්වැසුමේ ඉතිරි කොටසට ගෙවීම් හෙට: වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 1,550 ක්

MonaraMonara

ගිණුම් තහවුරු කරගත් අස්වැසුම ප්‍රතිලාභින් 257,170 ක් සඳහා ජූලි මස ගෙවීම් වෙනුවෙන් රුපියල් මිලියන 1,550 ක මුදලක් බැංකු වෙත යොමුකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව බැංකු මගින් ප්‍රතිලාභි ගිණුම් සඳහා එම මුදල් හෙට දිනය වනවිට බැර කරනු ඇති බවයි ඔහු කියා සිටියේ.

එසේම, ගිණුම් තහවුරු කරගත් පසු ඉතිරි ප්‍රතිලාභින් සඳහා ගෙවීම් කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කටයුතු යොදා ඇති අතර, ජූලි මාසයට අදාළ ගෙවීම සිදු කිරීමෙන් අනතුරුව අගොස්තු මාසයට අදාළ ගෙවීම සියලුම ප්‍රතිලාභින් සඳහා එකවර සිදුකිරීමට හැකියාව පවතින බව අමාත්‍යවරයා සඳහන් කළා.

අස්වැසුම වැඩසටහනේ පළමු අදියර ලෙස ප්‍රතිලාභි පවුල් 791,000 කට අදාළ රුපියල් මිලියන 5,016 ක මුදලක් මේ වනවිට ගෙවා අවසන් කර තිබෙනවා.