PARLIAMENT - පාලකයින් දැන් පරක්කු වැඩියි: පාලකයා මොන කැත වැඩේ කලත්...? සමාජ වෙනස ඇරඹිලා - අද මැති සබය

MonaraMonara

Parliment.lk

පාලකයින් දැන් පරක්කු වැඩියි - සමාජ වෙනස ඇරඹිලා

UPDATE - පාලකයන් කැමති වුවත් අකමැති වුවත් සමාජ වෙනස සිදුවීම ආරම්භ වී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් මන්ත්‍රීවරිය කියා සිටියේ එම සමාජ වෙනසට මේ වනවිට පාලකයන් හොඳටම බිය වී ඇති බවයි.

කෙසේ වෙතත් දැනටමත් ඔවුන් පරක්කු වැඩි බවද ඒ මහත්මිය පෙන්වා දුන්නා.

"ආර්ථික අර්බුදය පිටුපස තිබෙන දේශපාලන අර්බුදය අප හරිහැටි තේරුම් ගත්තේ නැතිනම් මෙතෙක් කල් කළ වැරදි නැවත නැවත කරන්න පෙලඹෙන්න පුළුවන්.. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මේ මොහොතේ අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා.. අප ජීවත් වන්නේ සමාජ සංයුතීන් සියල්ල අභියෝගයට ලක්වූ කාලයකයි.. අද ලොකුම අර්බුදයට ලක්ව ඇත්තේ පුරවැසියා සහ සහ පාලකයා අතර තිබිය යුතු සමාජ සම්මුතියයි.. පාලකයා මොන කැත වැඩේ කලත් පුරවැසියා සමඟ ඇති කරගත් පෞද්ගලික සබඳතාව හරහා දූෂිත ක්‍රියාවලින් වසා ගැනීමට සමාජය ගොඩනඟා තිබෙනවා.. පාලකයින් ගෙනෙන පනත් හරහා ඔවුන් බොහෝ බියට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.. ඔවුන්ගේ භාවිතාවෙන්ද එය පෙනෙන්නට තිබෙනවා.. සමාජයේ පුරවැසියන්ගේ ඇතිවී තිබෙන වෙනස මෙන්ම පුරවැසියා බිය නැතිව ප්‍රශ්න කිරීම සඳහා ඉදිරිපත්වීම පාලකයන් බිය ගැන්වීමට හේතුවක් වී තිබෙනවා.."

-----------------------------------------------------------------------------------

විදුලි බිල අඩුවන හැටි කංචන පහදයි

ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලෙහි ප්‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා.

හෙට (22) දිනයේ දී අදාළ යෝජනාව විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට නියමිත බවයි අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.

ඒ අනුව ගෘහස්ථ සහ ආගමික ස්ථාන කාණ්ඩයේ ඔක්තෝබර් මාසයේ වැඩිකළ සියයට 18ක බිල වැඩිකිරීම අඩුකෙරෙනු ඇති.

එම මාසයේදී සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි බිල සියයට 12කින් සහ රාජ්‍ය ආයතනවල විදුලි බිල සියයට 24කින් වැඩිකරනු ලැබුවා.

අදාළ මිල වැඩි කිරීම්ද සංශෝධනය අනුව අඩු කෙරෙනු ඇති බවයි කංචන විජේසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ

-----------------------------------------------------------------------------------

මහතීර් මොහොමඩ්ලා, ලී ක්වාන්යූලා කියලා ලංකාව වට්ටපු වැට්ටිල්ල මතකයි - හරීන් පාර්ලිමේන්තුවේදී අමු ගවයා කිව්වේ විමල්ට ද?

තමා ඉන්දියාවේ දී විනාඩි 15ක පමණ කාලයක් සිදුකළ ප්‍රකාශයෙන් 'ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්' බව පැවසෙන කොටස පමණක් උලුප්පමින් ඇතැමුන් කරන ප්‍රකාශ උසුළුවට කරුණක් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ යම් යම් අයගේ ප්‍රකාශ තම තමන්ට අවැසි ලෙස මාධ්‍යවල පළකරන බවයි.

තමාගේ ප්‍රකාශයත් එලෙසම වැරදි ලෙස අර්ථ කථනය කරමින් ප්‍රකාශ කළ බවද ඒ මහතා කියා සිටියා.

ඔන්ලයින්වල තිබෙන භයානකත්වය එය බවද ඒ මහතා පෙන්වා දුන්නා.

"මං සිදුකළ ප්‍රකාශය වැරදියට හම්පට්ට ගහන්න හදන අමු ගවයෙක් මේ පාර්ලිමේන්තුවේ හිටියා කියන එක මං කියන්න කැමතියි.. ඒක ගැන මං කණගාටුයි.. එතුමගේ දේශපාලනය ගැන හොයලා බැලුවොත් එහෙම එතුමා මහතීර් මොහොමඩ්ලා, ලී ක්වාන්යූලා ගෙනල්ලා මේ ලංකාව වට්ටපු වැට්ටිල්ල ගැන අපිට මතකයි... එතුමා තුම්මුල්ලට ගිහින් ලෙමන්පෆ් කාලා ඩීඅයිජීගේ තොප්පි ගලවලා ඇවිදන් ආපු හැටිත් අපිට මතකයි.. ඉන්දියාවෙන් වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණෙන වෙලාවේ මේ කරන්නේ පහත් වැඩක්.. එතුමා මේ එල්ලෙන්න තැනක් නැතුව දඩයම් කරන්න හදන්නේ.. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැන පහත් කරලා කතා කිරීම ගැන මං ලැජ්ජ වෙනවා.. ඒක දේශපාලන දෙබඩි නපුංසක පිළිවෙතක්.. එයා වගේම තමයි අර ‌හොර ගම්මත්.. දෙන්නම හොර ගෙඩියෝ.."

-----------------------------------------------------------------------------------

ජවිපේ ඉන්දියාව එක්ක මඟුල් කනවා - ලස්සන සූට් එකක් ඇදලා ගිහින් කාලා බීලා ආව එකට සතුටුයි

ඉන්දියාව විවේඡනය කළ ජනතා විමුක්ති පෙරමුණ අද සූට් බූට් ඇඳන් ඉන්දියාවේ යන බව අමාත්‍ය නිමල් සිරිපාල මහතා පවසනවා

ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියාවට දෝෂා රෝපණය කළ බවත්, ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ කතා කළ බවත් අමාත්‍යවරයා කියා සිටියා.

"ඉන්දියාවට බැන බැන හිටපු අය සුට් ගහලා ඉන්දියාවේ පස්සේ යනවා.. අපි ඉන්දියාවට ගියාම නම් අපිට හිනාවුණා.. අවලාද කිය කිය ඉදපු අය අද ඉන්දියාව එක්ක මඟුල් කනවා.. ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ රූපය හෙළිවුණා.. කොහොම වුණත් අනුර කුමාර දිසානායක මැතිතුමා ලස්සන සූට් එකක් ඇදගෙන ඉන්දියාවේ දෙවන පෙළ නායකයින් හමුවෙලා කාලා බීලා ආව එකට අපිට සතුටුයි.. අපිට අවශ්‍ය වචන මවා පාන නායකයෝ නෙමෙයි... ජනතාව ඒවා විශ්වාස කරන්නේ නැහැ.. දැන් සංචාරකයෝ වැඩි වැඩියෙන් ලංකාවට එනවා.. ගුවන්තොටුපොලේ තදබදයත් වැඩියි.. ජවිපේ කියන්නේ ලංකාවට සල්ලි එවන්න එපා කිව්ව අයනේ.. ජවිපේ ඊර්ෂ්‍යා කරනවා රට ගොඩයනකොට.. "

නියම කාලවකවානුවට ජනාධිපතිවරණය පවත්වන බවට ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එහිදි සහතික වුණා.

-----------------------------------------------------------------------------------

මැරිච්ච මිනිස්සු රෑට කෙහෙලියගේ බෙල්ල මිරිකනවද දන්නෙත් නැහැ..

ජනතාවගේ පිබිදීම දරාගත නොහැකිව එය මර්ධනය කිරීමට රජය විවිධ අණපනත් සකස් කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා චෝදනා කළා.

පටු පරමාර්ථ උදෙසා තවදුරටත් බලයේ රැඳි සිටීමට ඇති කෑදර කම හේතුවෙන් මෙම අණත්පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

රනිල් වික්‍රමසිංහ මහතා තාවකාලික ජනාධිපතිවරයෙක් බවත්, ජනතා පරමාධිපත්‍යයට ගරු කරන ලෙසත් ඔහු ප්‍රකාශ කළා.

"මේ අර්බුද ඔක්කොම ඔටෝමැටිකලි හැදිච්ච ඒවා නෙවෙයි.. මේවා ඔක්කොම පාලකයෝ නිර්මාණ කරපු අර්බුද.. මං දැක්කා කෙහෙළියට රෑට හුස්ම හිරවෙනවා කියලා තිබ්බා..මැරිච්ච අහිංසක මිනිස්සු රෑට ගිහිල්ලා කෙහෙලියගේ බෙල්ල මිරිකනවද දන්නෙත් නැහැ.. ඇයි ඉතින් කෙහෙළිය රටේ ජනතාවගේ ජීවිත කුණු කොල්ලයට දාලනේ කතා කළේ.. කරපු අපරාධවලටයි ඔහොම වෙන්නේ... නින්දෙන් හුස්ම හිරවෙනවලු.. මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රය ද ඉතා ඛේදනීය තත්ත්වයකට පත්වෙලා.. මේ රටේ හැම කේෂ්ත්‍රයක්ම කඩන් වැටිලා.. ළමයෙක් පාසල් යවන්න පුළුවන් තත්ත්වයක් දෙමව්පියන්ට නැහැ.. ඒ නිසා නියම ජනමතයට ඉඩදෙන්න කියලා අපි ජනපතිගෙන් ඉල්ලනවා.."

-----------------------------------------------------------------------------------

ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට දමන මර්දනකාරී ප්‍රතිපත්තියක ආණ්ඩුව ඉන්නේ

දිනෙන් දින ඉහළ යන ජීවින වියදම හමුවේ දරාගත නොහැකි මට්ටමකට රට පත්ව ඇති අතර එමඟින් සමස්ත රට වැසියාම අර්බුද රැසකට මුහුණ පා ඇති බව සමඟි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා.

ජනතාව මත අධික බඳු බරක් පැටවීම හේතුවෙන් එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර මෙන්ම භාණ්ඩ හා සේවා මිල ගණන්ද අධික ලෙස ඉහලගොස් ඇති බවයි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ.

මෙම කාරණා ඍජුව බලපාන බවත්, මන්දපෝෂණ තත්ත්වයෙන් පෙලෙන දරුවන්ද ඉහලගොස් ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

විරැකියාව හා ආදායම් අහිමිවීම හේතුවෙන්ද සාමාන්‍ය ජනයා ගැටලු රැසකට මුහුණ පා ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියා.

"අල්ලස, දූෂණය සහ නාස්තිය ඉහවහා ගොස් තිබෙනවා.. දූෂණයට සම්බන්ධ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිළධාරීන් නීතිය හමුවට කැදවා දඩුවම් ලබාදීම වෙනුවට ඔවුන්ව ආරක්ෂා කරන ප්‍රතිපත්තියක් රජය අනුගමනය කරනවා.. විවිධ අණපනත් ගෙනල්ලා මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා.. ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට දමන මර්දනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.. මෙම කරුණු බරපතල ලෙස සැලකිල්ලට ගෙන රටේ පොදු ජනතාව මුහුණ පා ඇති ගැටළුවලින් ඔවුන්ව ගලවාගන්න ලෙස ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලනවා.. මේක අති මානුෂීය කාරණාවක්... මේක සුළුවෙන් තකන්න එපා.. බඩගින්න වෙනුවෙන් උද්ඝෝෂණය කරන එක ත්‍රස්තවාදයක් විදියට හඳුන්වනවා.."

-----------------------------------------------------------------------------------

මූලාසනය අවස්ථා 09කදී ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනවලට පටහැනිව කටයුතු කරලා

අවස්ථා 09කදී ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනවලට පටහැනිව මූලාසනය කටයුතු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අද (21) රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ විපක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතව තිබු අතර කෙසේ වෙතත් මේ වනවිට අධිකරණ සම්බන්ධ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.

යළි මෙවැනි ක්‍රියාවක් සිදුනොවීමට වගබලාගන්නා ලෙසයි විපක්ෂනායකවරයා ඉල්ලා සිටියේ.

-----------------------------------------------------------------------------------

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබෙනවා.

පාර්ලිමේන්තු කටයුතු අද පස්වරු 05.30 දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව අද (21) දිනයේ දී රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ විපක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතයි.

හෙට (22) දිනයේ දී අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙනුවෙන් ශෝකය පළකිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

-----------------------------------------------------------------------------------