යුක්තිය මෙහෙයුමෙන් ගංජා පැල 13,892ක් අල්ලයි: මදන මෝදක ග්‍රෑම් 24කුත් පොලිස් බාරයට

MonaraMonara

ඉකුත් පැය විසි හතර තුළ, යුක්තිය මෙහෙයුමට අදාළව සිදු කරන ලද වැටලීම්වල දී විවිධ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 699ක් සහ අපරාධ අංශවලට යොමු කළ අපරාධකරුවන් ලැයිස්තුවේ සිටි තවත් සැකකරුවන් 325ක් සමගින් මුලු සැකකරුවන් 1,024 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂ අමාත්‍යංශය පවසනවා.

එලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් සමග හෙරොයින් ග්‍රෑම් 227ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 168ක්, ගංජා කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 40ක්, මාවා ග්‍රෑම් 227ක්, මදන මෝදක ග්‍රෑම් 24ක්, මත්පෙති 647ක් සහ ගංජා පැල 13,892ක් පොලිස් බාරයට පත් වූ බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

මේ අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 699 දෙනා අතරින් සැකකරුවන් 13ක් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 8 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවත් මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

තව ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය මගින් යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 45 දෙනෙකු ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ අංශ ස්ථානාධිපතිවරුන් වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 325 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, විෂ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවන් 92 දෙනෙකු ද, විෂ මත්ද්‍රව්‍ය නොවන වෙනත් වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත්ව තිබු සැකකරුවන් 211 දෙනෙකු ද, ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 11 දෙනෙකු සහ බාල අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 11 දෙනෙකු අපරාධ අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි එම අමාත්‍යංශය පවසන්නේ.