‌‍මොනවා වුණත් මම දරුවෝ හය දෙනා කොහොම හරි හදා ගන්නවා: හරිම අමාරුයී ජීවත් වෙන්න.. කුලියට ඉන්නේ.. පොඩි සේල්ස් ජොබ් එකක් කරන්නේ‍‍

MonaraMonara

ඡායාරූප - කොළඹ - වසන්ත නිරෝෂන්

කොතරම් අපහසුතා තිබුණ ද සිය දරුවන් සය දෙනා කෙසේ හෝ උස්මහත් කරන බව කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලේ උපත ලද සය නිවුන් දරුවන්ගේ පියා කියා සිටියා.

තමන්ගේ මේ ලැබුණු වටිනා සම්පත ගැන සතුටක් දැනුණද දැඩි ආර්ථීක අපහසුතා ‌හේතු නිසා මෙය ඉතා බැරෑරුම් කටයුත්තක් බවයි ඔහු ප්‍රකාශ කළේ.

සිය දරුවන් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

“ අපි අවුරුදු 12ක් දරුවෝ නැති හින්දා තමයි මේ අපි IF මාර්ගයෙන් තමයි මේ ඩිපෝසිට් එක කළේ.. අපි දන්නේ නෑ අපි හිතුවේ නෑ මෙච්චර මෙහෙම දෙයක් වෙයි කියලා.. මුලදී දරුවෝ පස් දෙනෙකු තමයි පෙන්නුම් කළේ. අන්තිම මොහොතෙදී තමයි කිව්වේ දරුවෝ හයක් කියලා.. ඇත්තටම කොහොමත් බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි..

මම පෞද්ගලික අංශයේ සේල්ස් පොඩි ජොබ් එකක් තමයි කරන්නේ.. බොහෝම ආර්ථීක අපහසුතා මැද තමයි ජීවත් වෙන්නේ.. දැනටත් අන්තිම මොහොත වෙනකනුත් කුලියට තමයි හිටියේ.. අන්තිම මොහොතේ තමයි වයිස්ට මහගෙදර ගෙනල්ලා නැවැත්තුවේ.. ඉදිරියට කරන්න ඕනේ කිසිදෙයක් ගැන කිසිම අදහසක් නෑ.. ඇත්තටම.. මොකද දරුවෝ හය දෙනාව උස්මහත් කරන විදිහ.. දරුවෝ හය දෙනාට කන්න බොන්න දෙන්න ඕන විදිහ.. ඒ ගැන මට තාම කිසිම අදහසක් නෑ.. උදව්වක් කරන්න පුළුවන් ඕන කෙනෙක්ගෙන් පුළුවන් තරම් මම සහයෝගය බලාපොරොත්තු වෙනවා..

කෝටියකට එක් අයෙකුට ලැබෙන වගේ දෙයක් මට ලැබුණේ.. ඇත්තටම සන්තෝසයි.. මොනවා වුණත් මම දරුවෝ කොහොම හරි හදා ගන්නවා.. මට සාමාන්‍යයෙන් දරුවෝ 6 දෙනාට දවසට කිරිපිටි පැකට් දෙකක් විතර යනවා.. ඉතිං ඒ කිරිපිටි කිලෝ එකක් රුපියල් 3000ක් විතර වෙනවා.. එතකොට මාසෙට 180,000ක් විතර යනවා කිරිපිටිවලට විතරක්.. ඊට අමතරව 6 දෙනාටම පැප්පර්ස් අන්දන්න සිද්ධ වෙලා තියෙනවා.. ඒ දේවල්වලටත් සෑහෙන්න මුදලක් යනවා ඒ වියදම්වලට.. ඊට අමතරව කුලියක් ගෙවා ගෙන ඉන්නේ.. කුලියත් ගෙවා ගෙන මට ඒ දේවල් කර ගන්න අමාරුයි.. මම ඉල්ලන්නේ අපිට පුළුවන් උපරිම සහයෝගයක් දෙන්න අපේ දරුවෝ උස්මහත් කර ගෙන ජීවත් වෙන්න..”