චීන ජාතිකයන්ට on arrival visa දෙන්න සාකච්ඡා: මැන්ඩරින් භාෂාවෙන් වීසා ඉල්ලන්න දෙන්නත් යයි

MonaraMonara

චීන ජාතිකයන් මෙරටට පැමිණීමේ දී ඔවුන් සඳහා පැමිණීමේ පර්යන්තයෙන් ලබාදෙන වීසා පහසුකම් (on arrival visa facility) නිකුත් කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් පැවති කාරක සභාවක දී යි.

මේ අතර මැන්ඩරීන් භාෂාවෙන් මාර්ගගත ක්‍රමවේදයන් හරහා වීසා අයදුම්පත් ලබා දීමට ඇති හැකියාවත් පිළිබඳව ද සොයා බලන්නැයි එම කමිටුව විසින් උපදෙස් දී ඇති අතර පසුගිය රැස්වීම් වාරවල දී එැළැඹි තීරණවල ප්‍රගතිය පිලිබඳව මෙහි දී සමාලෝචනයක් සිදු කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ.

තව ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වන අප්‍රිකානු හා මැද පෙරදිග කළාප පිළිබඳ අංශයන්හි කාර්යභාරය සහ එම කලාපයන්ට අදාලව මෙරට රාජතාන්ත්‍රික ප්‍රතිපත්ති පිළිබඳව මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී තීරණය කෙරුණු අතර එම සබදතා තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් එහි දී සාකච්ඡා කෙරී තිබෙනවා.

එමෙන් ම විදේශයන්හි ස්ථාපිත ශ්‍රී ලංකා තානාපති සහ මහ කොමසාරිස් කාර්යාලවල වෙබ් අඩවි හරහා ශ්‍රී ලංකාව පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දීමේ හා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර වැඩි ක්‍රය ශක්තියක් සහිත මැද පෙරදිග රටවල් වෙතින් සංචාරකයන් මෙරටට අකාර්ෂණය කර ගැනීම, මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනයට හා මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමටත් ඉහළ දායකත්වයක් ලබා දිය හැකි බව පෙන්වා දුන් එම කාරක සභාව ඒ පිළිබඳව අදාල පාර්ශ්ව නොපමාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද පැමිණ සිටි නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.