මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබූ නාමල් සාක්කි කැඳවීමකින් තොරව නිදහස් ?: පෞද්ගලික සමාගමක මුදල් ආයෝජනය කිරිම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව නිදහස් කරන්නැයි ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බව ඔහුගේ නීතිඥවරු අධිකරණයට අද දැනුම් දුන්නා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30 ක මුදලක් පෞද්ගලික සමාගමක ආයෝජනය කිරිම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකු විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බව ඔවුන්ගේ නීතිඥවරු කොළඹ මහාධිකරණය හමුවේ දැනුම්දී තිබෙනවා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළ ඉල්ලීම සිදු කෙරෙනු අතර එහිදී පැමිණිල්ලේ සාක්ෂි විමසීමද අවසන් කෙරුණා.
හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඇතුළු විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයින්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී නොමැති හෙයින් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව දන්වා සිටියා.
ඒ අනුව එම කරුණු දැක්වීම ජුලි මස 24 දා සිදු කරන ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.