සමගි‌යේ තීරණය පිටු පෑ මන්ත්‍රීවරුන්: ජනපති සමඟ පැවැති රහස් සාකච්ඡා

MonaraMonara

මෙරට 09 වැනි පාර්ලිමේන්තුවේ පස් වන සභාවාරය පසුගිය 07 වැනිදා පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

එහි දී ජනාධිපතිවරයා විසින් ආණ්ඩු ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවා.

ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගය ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම වර්ජනය කරමින්, සභාව තුළට පිවිසියේ නැහැ.

කෙසේ වෙතත් එම පක්ෂය නියෝජනය කරන පිරිසක් පක්ෂ තීරණයට පිටුපාමින් සභාව තුළ රැඳි සිටි අයුරු දැකගත හැකි වුණා.

රාජිත සේනාරත්න, පාඨලි චම්පික රණවක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ඊශාක් රහුමාන්, ඒ.එච්.එම් ෆවුසි සහ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන කුමාර වෙල්ගම යන මහත්වරුන් ඒ අතර සිටියා.

මනෝ ගනේෂන් මහතාගේ නායකත්වය යටතේ සමගි ජනබලවේගය සමඟ සන්ධානගත වී සිටින දෙමළ ප්‍රගතිශීල සන්ධානයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව රැස්වීමට සහභාගී වී සිටියේ නැහැ.

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් යන මහත්වරුන් ඉන්දිය සංචාරයක නිතර ව සිටින බැවින් මහාචාර්ය හරිනී අමරසූරිය මහත්මිය පමණක් පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චාල්ස් නිර්මලනාදන් සහ තවරාසා කලෛඅරසුන් එම අවස්ථාවට එක්ව සිටි බව සඳහන්.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ , ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර විශේෂ හමුවක් පසුගිය 07 වැනිදා පවත්වා තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තුවේ පිහිටා ඇති ජනාධිපති කාර්යාලයේ දීයි.

එහි දී විනාඩි 20කට අධික කාලයක් ඔවුන් දෙදෙනා පමණක් අදහස් හුවමාරු කරගෙන ඇති බවටයි, තොරතුරු වාර්තා වන්නේ.

එමෙන් ම උතුරු පළාතේ හිටපු මහඇමති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මහතාගේ සහය ද යළිත් ජනාධිපතිවරයාට ලබා දීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඉදිරි වසර 05 සඳහා රට භාරගැනීමට වඩාත් සුදුසු පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි, ඔහු මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජනාධිපතිවරයා සහ සී.වී විග්නේෂ්වරන් මහතා අතර හමුවක් ද පවත්වා ඇති බව සඳහන්.

එහි දී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් ‌මේ දක්වා හෙළි වී නැහැ.

වත්මන් නායකයන් අතරින් දෙමළ ජනතාව සමඟ කටයුතු කළ හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව ද හිටපු මහඅමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ජනාධිපතිවරයාගේ කතාව අතරතුර ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවෙන් පිටව යෑම ගැන ද විග්නේෂ්වරන් මහතා විසින් මෙහිදි විවේචනය කළා.