හමුදා බුද්ධි අංශවල තොරතුරු එළියට: හෙළි වූ දේවල් මෙන්න
නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බුද්ධි ආවේක්ෂණ රාජකාරි පුළුල් කරන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට සහ අදාළ සියලුම පාර්ශවයන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව ගත වූ 2023 වසර තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලබා දුන් බුද්ධි තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වැටලීම්වලදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 482 දෙනෙකු ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසනවා.
අදාළ වැටලීම්වලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 320කට ආසන්න ප්‍රමාණයක්, ගංජා කිලෝග්‍රෑම් 93කට ආසන්න ප්‍රමාණයක්, අයිස් කිලෝග්‍රෑම් 03කට ආසන්න ප්‍රමාණයක් , ගංජා පැළ ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක්ද, මත්ගුලි තුන් ලක්ෂ පනස්දහසකට ආසන්න ප්‍රමාණයක්ද, නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි පනස් හතර දහසකට ආසන්න ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම ගෝඩා ලීටර් හාරදහසකට ආසන්න ප්‍රමාණයක් සහ නීති විරෝධී දේශීය මත්පැන් ලීටර් හාරසියයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 15 දෙනෙකුද එම පිරිසට ඇතුළත්ය.
එමෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශ විසින් 2024 වසරේ දී හමුදාව විසින් ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යංශය විසින් අයිස් මත්ද්‍රව්‍යය කිලෝග්‍රෑම් හතරකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම අයිස් මත්ද්‍රව්‍යය ප්‍රමාණය මෙරටින් මෑත කාලීනව ගොඩබිමදී අත්අඩංගුවට ගත් විශාලම අයිස් මත්ද්‍රව්‍යය තොගය මෙය බවයි පැවසෙන්නේ.
2024 වර්ෂයේ දී යුද්ධ හමුදා බුද්ධි අංශ විසින් ලබා දුන් බුද්ධි තොරතුරුවලට අනුව කේරළ ගංජා කිලෝ 163කට ආසන්න ප්‍රමාණයක්, දේශීය ගංජා කිලෝ 190කට ආසන්න ප්‍රමාණයක්, නීති විරෝධීව මෙරටට ගෙන් වූ බීඩි කොළ කිලෝ 2170ක් , නීති විරෝධී දුම්වැටි 39380ක්, මත්පෙති 4780ක්, ගංජා පැළ 84698ක්, ගෝඩා ලීටර් 225ක් සමඟ සැකකරුවන් 29 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය කටයුතු කර තිබෙනවා.