මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන කරුණුවලට නඩු පැවරිය නොහැකියි: කතානායක තම ස්ථාවරය විපක්ෂ නායකවරයාට දන්වයි

MonaraMonara

යම්කිසි මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේදී සිදු කරන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිටස්තර පුද්ගලයෙකුට අදාළ මන්ත්‍රීවරයාට නඩු පැවරිය නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (30දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මන්ත්‍රී වරප්‍රසාද යටතේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස : ගරු කතානායකතුමනි, ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි, බරපතළ ගැටලුවක් සම්බන්ධයෙන්, සහ විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව. මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත. මහලේකම්තුමිය, එහි පිටපතක් කතානායකතුමාට ලබාදෙන ලෙස ඉල්ලනවා. එම පනතේ පළවැනි කොටසේ 3 වැනි වගන්තිය ඒ කියන්නේ භාෂණයේ සහ විවාද කිරීමේ නිදහස.

පාර්ලිමේන්තුවේදී භාෂණයේ සහ විවාද කිරීමේ නිදහස තිබිය යුතු අතර, ඒ භාෂණයේ සහ විවාද කිරීමේ නිදහස පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී දෝෂාභියෝගයකට හෝ ප්‍රශ්න කිරීමකට භාජනය කළ නොහැකි වන්නේය. බොහොම පැහැදිලියි.

4 වැනි වගන්තිය, ඇතැම් අවස්ථාවලදී මන්ත්‍රීවරුන්ට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව, මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේදී පවසා ඇති කරුණක් සම්බන්ධයෙන් හෝ පෙත්සමක්, පනත් කෙටුම්පතක්, යෝජනා සම්මතයක්, මෝසමක් මගින් හෝ අන්‍යාකාරයෙන් පාර්ලිමේන්තුව වෙත ඔහු විසින් ඉදිරිපත් කර ඇති කරුණක් හෝ දෙයක් හේතු කොටගෙන හෝ ඔහු කිසිදු සිවිල් හෝ අපරාධ නඩු කටයුතුවලට සිර භාරයට ගැනීමට, බන්ධනාගාරගත කිරීමකට හෝ අලාභාවලට යටත් නොවන්නේය.

ඉතින් මේක බොහොම පැහැදිලියි කතානායකතුමනි, ඔබතුමා බොහොම වගකීමෙන් කටයුතු කරන්නට ඕනේ මේ පනත යටතේ. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සුරක්ෂිත කරන්න සැදී පැහැදී සිටිනවා. හැබැයි මෙවන් තත්ත්වයක් තුළ මෙම පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත උල්ලංඝනය කරමින් දැන් නඩු කටයුත්තක් ක්‍රියාත්මක කරලා තියෙනවා රොෂාන් රණසිංහ මහතාට විරුද්ධව මේ පාර්ලිමේන්තුවේ කරපු කතාවකට. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි, කරුණාකරලා ඔය මූලාසනයේ ඉඳගෙන මන්ත්‍රී වරප්‍රසාද ආරක්ෂා කිරීමේ ප්‍රධාන භාරකරුවා වශයෙන් ඔබතුමා ප්‍රකාශයට පත් කරන්න මේ සඳහා රට බැඳිලා සිටිනවාද? මේකට අභියෝග කරන්න පුළුවන්ද අධිකරණයේදී.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා : ඒකට උසාවියේදී පරීක්ෂා කරලා සුදුසු තීරණයක් දෙවි කියලා මම විශ්වාස කරනවා. මේක වැරදියි, සම්පූර්ණ වැරදියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස : ගරු කතානායකතුමනි, නෑ නෑ සමාවෙන්න. මම මේ කතා කරන්නේ උසාවිය ගැන නෙමෙයි. මම මේ කතා කරන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත. මහලේකම්තුමිය, පිටපතක් දෙනවාද? කතානායකතුමාට,

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා : තියෙනවා. තියෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස : එතකොට මේක පනතක්. මේ පනතෙන් මන්ත්‍රීවරයාට ලබාදී තිබෙන වරප්‍රසාද 3, 4 කියවන්න. එතකොට මේක රකින්න ඔබතුමා බැඳිලා සිටිනවා. මේක මන්ත්‍රීවරු සතු වරප්‍රසාදයක්. එනිසා මම ඔබතුමාගෙන් ප්‍රකාශයට පත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා, මේ 3, 4 යටතේ කළ කතාවකට පිටස්තරව ගිහින් නඩු පවරන්න පුළුවන්ද කියලා. ඒකට උත්තරයක් දෙන්න.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා : පැහැදිලිවම නොහැකියි.