වැස්ස අඩු වෙන්නේ ඔක්තෝබර් 07න් පස්සේ: ධාරානිපාත වර්ෂාවෙන් කොළොන්නාව යටවෙයි

MonaraMonara

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක ඡායාරූපය සහ මූලාශ්‍රය - ප්‍රාදේශීය වාර්තාකරු වසන්ත නිරෝෂන්ගෙන්

මේ දිනවල රටේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇත්තේ නිරිතදිග මෝසම සක්‍රීය වීමේ අවසාන භාගය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසනවා.

මෙලෙස වර්ෂාව ඇති වීම සාමාන්‍යයෙන් වර්ෂ අවසානයක් තුළ සිදු වන්නක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.

මෙම වර්ෂාව පහව යාම ඔක්තෝබර් මාසයේ 07 වැනි දිනයෙන් පසුව සිදු විය හැකි බව ද ඔහු ප්‍රකාශ කරනවා.

අද දිනයේ දී වර්ෂාව ඇති වීම මධ්‍යම , වයඹ පළාත්වලට කඩින්කඩ සිදු විය හැකි අතර, එය වර්ෂාපතනය මිලිමීටර් 50ක් දක්වා වර්ධනය විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මීට අමතර ව හෙට දිනයේ දී අදට වඩා වර්ෂාවේ සැලකිය යුතු මට්ටමේ වර්ධනයක් බලාපොරොත්තු වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයට අද දිනයේ දී මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති වීමේ ඉඩකඩක් ද තිබෙනු ඇති.

එමෙන්ම සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 අතර අගයක් පුත්තලමේ සිට මන්නාරම සහ ත්‍රිකුණාමලය දක්වා මුහුදුබඩ කලාපවල සටහන් විය හැකි බවත් වාර්තා වනවා.

මේ අතර ගෙවුණු දින කිහිපය පුරා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළොන්නාවේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මහාමාර්ග සහ නිවාස ජලයෙන් යට වී තිබෙනවා.

වැල්ලම්පිටිය, වෙන්නවත්ත, කොටුවිල, වෙලේවත්ත, නදීගම, සේදවත්ත,අඹතලේ යන ප්‍රදේශවල ඇළ මාර්ග පිටාර ගැලීමෙන් හා වැසි ජලය හේතුවෙන් අතුරු මාර්ග සහ නිවාස රැසකට පීඩා එල්ල වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු වසන්ත නිරෝෂන් සඳහන් කළේ.

එම ප්‍රදේශවල අතුරු මාර්ගවල ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර දින පහක සිට ජනතාව මෙසේ පීඩාවට ලක් ව සිටිනවා..

කැළණි ගඟේ ජල මට්ටම ද ඊයේ දිනයට වඩා අද දින ඉහළ ගොස් තිබෙනවා.

නමුත් ගඟ පිටාර ගැලීමේ අවදානමක් මතු ව නැහැ.