කතරගම සියඹලා කොළඹදී ගෝන මස් වෙලා: යුක්තිය මෙහෙයුමට දඩ මසුුත් හසුවෙයි

MonaraMonara

කතරගම සිට කොළඹට රැගෙන යාමට ගෙනා ගෝන මස් කිලෝ 100ක් ඉඳුරුව කයිකාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්තිය මෙහෙයුම යටතේ සිදුකෙරෙන මෙහෙයුම්වලට අදාළව කොස්ගොඩ පොලිස් නිළධාරීන් පිරිසක් විසින් ඊයේ (10) දිනයේ ගාල්ල කොළඹ මාර්ගයේ ඉඳුරුව කයිකාවල ප්‍රදේශයේ ගමන් කරන බස් රථ පරීක්ෂාවට ලක්කර තිබුණා.

එහිදී කතරගම සිට කොළඹ බලා ගමන් ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අම්බලන්තොට ඩිපෝවට අයත් බස් රථයක පිටුපස භාණ්ඩ ගබඩා කරන ස්ථානයේ තිබී දඩමස් අඩංගු පාර්සලයක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

මේ පිළිබඳ බස් රථයේ රියැදුරා සහ කොන්දොස්තරවරයාගෙන් විමසීමක් කර ඇති අතර එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ පුද්ගලයෙකු විසින් කොළඹට රැගෙන යාම සඳහා සියඹලා යැයි පවසා පාර්සලයක් ලබා දුන් බවයි.

මෙම දඩ මස් ගෝන මස් ලෙස හඳුනාගෙන ඇති අතර එය අධිකරණයේ අවසරය මත රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යැවීමට නියමිතයි.

එම දඩ මස් කිලෝවක් කතරගම ප්‍රදේශයෙන් රුපියල් 600ක් වැනි මිලකට මිලදීගෙන තිබෙනවා.

අනතුරුව ඒවා කොළඹට රැගෙනවිත් රුපියල් 2500ත් 2600ත් වැනි ඉහළ මිලකට අලෙවිකිරීම සඳහා සැලසුම් කර ඇති බවටයි ‌ වැඩිදුර පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

එම බස්රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා පොලිසිය විසින් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.