කංචන කියන්නේ ඩොලර් කාපු ඇමති කෙනෙක් - ආනන්ද පාලිත: විදුලිබල අමාත්‍යවරයා උසස් පෙළ සමයේ පැය දෙකක විදුලි කප්පාදුව අනුමත කළේ, ඉන්ධන, නැප්තා සහ දැවිතෙල් තිබෙද්දී.
‘’ඇස්තමේන්තු මුදල දෙනවා නම් පොසොන් පොහොයට ලයිට් දෙනවා.. ලැබෙන පඬුරු හරියට කළමනාකරණය කළා නම් රාජ්‍ය පොසොන් උත්සවයට ආණ්ඩුවේ සල්ලි ඕනේ නැහැ.”
පසුගිය දා මෙම ප්‍රකාශය සිදු කළ බලශක්ති ඇමති, රට, ජනතාව සහ තම සේවකයින් වෙනුවෙන් තමන්ගේ වගකීම ඉටු කළ නිවැරදි නායකයෙකු ද යන්න පිළිබඳ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ප්‍රශ්න කරනවා.
කංචන විජේසේකර මහතා අමාත්‍යධුරය භාර ගෙන මේ වනවිට අවුරුද්දකට වැඩි කාලයක් ගතවී ඇතත්, මෙම කාලය තුළ ඔහු සිදු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බංකොලොත් කිරීමයි .
එමෙන්ම මෙවැනි ප්‍රකාශ සිදුකරන්නේ, රටේ ජනතාව ලෝකයේ දුප්පත්ම ජනතාව ලෙස පත් කළ ආණ්ඩුවක ඩොලර් විනාශ කළ ඇමතිවරයෙක් බවයි ආනන්ද පාලිත මහතා පැවසුවේ.
අමාත්‍යවරයා සිදුකරන මෙම සියලු ප්‍රකාශ වැදි බණ බවයි ඔහු සඳහන් කළේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද පාලිත මහතා පැවසුවේ, හයිරෙක්ස් සමග ගිවිසුමක් අත්සන් කර අක්කර 25ක භූමියක මුතුරාජවෙල නවීන කර්මාන්ත ශාලාවක් ඉදිකර වාහනවලට අවශ්‍ය ඉන්ධන සමග පාවිච්චි කරන ලිහිසි තෙල් වර්ග නිෂ්පාදනය කළ බවයි.
එහෙත් අද වනවිට ඉන්ධන මිල වගේම ලිහිසි තෙල් ද කළුකඩ මිලට විකිණීමෙන්, තෙල් සංස්ථාවට අයිති කිසිදු ඉන්ධනහලකට අවුරුද්දකට අධික කාලයක සිට ලිහිසි තෙල් ලබා දී නොමැති බවයි ඔහු පැවසුවේ.
2003, IOC පැමිණීමත් සමග, අද වනවිට ලිහිසි තෙල් සමස්ත ජාලයම ඔවුන් සතු කර ගෙන ඇති බවද ආනන්ද පාලිත මහතා මෙහිදි අනාවරණ කළා.
ලබාදුන් පිරවුම්හල් ගණන 107ක් වුවද මේ වනවිට 212ක් ඇති බවත් ඉදිරියේ දී තවත් පිරවුම්හල් තිස් ගණනක් අලුතින් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් පැවසු ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම පිරවුම්හල් සියල්ලේමේ SERVO නම් ඉන්දියන් ලිහිසි තෙල් පමණක් අලෙවි කරන බවයි.
මෙහිදි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, විදුලිබල අමාත්‍යවරයා විසින් උසස් පෙළ සමයේ පැය දෙකක විදුලි කප්පාදුව අනුමත කළේ, ඉන්ධන, නැප්තා සහ දැවිතෙල් තිබෙද්දී බවයි.
2003 මෙරට ස්ථාපිත කළ IOC සමාගම නැව්වලට ඉන්ධන ලබාදීලා අද බිලියන ගණන් උපයන බවත්, 1961 ජනසතු කළ, 1969 පිරිපහදුව නිර්මාණය කළ අපේ රටට මෙතෙක් නැව් සඳහා ඉන්ධන ලබාදීමට නොහැකි වී තිබෙනවා.
කෙසේවෙතත් රාජ්‍ය උත්සවය වෙනුවෙන් මෙවැනි ප්‍රකාශ සිදුකිරීමට අමාත්‍යවරයාට කිසිදු සධාචාරාත්මක අයිතියක් නොමැති බව පැවසූ ආනන්ද පාලිත මහතා වැඩිදුරටත් කියා සිටියේ, දොරටුපාලකයා රජා වෙලා රටේ සම්පත් සූරා කෑමට පටන් ගෙන ඇති බවයි.