වැස්සෙන් පස්සේ කළුතරට අවදානමක්: කන්න - බොන්න කලින් මේ ටික කරන්න

MonaraMonara

පසුගිය දින කිහිපය පුරා කළුතර දිස්ත්‍රික්කයට ඇද හැළුණු ධාරාණිපාත වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ බෝවන රෝග පැතිරීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය තඹර කළුබෝවිල මහතා පවසනවා.

පානීය ජල මූලාශ්‍රවලට අපිරිසිදු ජලය එක්වී ඇති බැවින් උණුකොට නිවාගත් ජලය පානය කිරීමට ඉතා සුදුසු බව ඔහු පෙන්වා දෙනවා.

එසේම, වැසි ජලයෙන් යටවී ගිය වගාබිම් වලින් වෙළඳපොලට රැගෙන එන පළා වර්ග, අමු එළවළු, පලතුරු ආදිය ආහාරයට ගැනීමේ දී වඩාත් සැලකිලිමත්ව ආහාරයට ගන්නා‌ ලෙසත්, ආහාරයට ගැනීමට පෙර ලුණු මිශ්‍ර ජලය යොදා එම පළා වර්ග හා එළවළු වර්ග සෝදා පිරිසිදු කරගෙන සුදුසු උෂ්ණත්වයක පිසගෙන ආහාරයට ගැනීම සුදුසු බවත් ඔහු තවදුරටත් කියා සිටියා.

නිවසේ දී පිස ගන්නා ආහාර පමණක් මේ දිනවල ආහාරයට ගැනීම වඩාත් සුදුසු බවත්, ආහාර ගැනීමේ දී ආරක්ෂාකාරී නොවුණහොත් පාචනය වැනි රෝග වැළඳිය හැකි බවත් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය තඹර කළුබෝවිල මහතා වැඩිදුරටත් සඳහන් කළා.