“සංගම් අල්ලගෙන මාධ්‍යවේදියෝ හම්බ කරනවා” අර්ජුනගෙන් සැර කතාවක්: “ක්‍රීඩා සංගම් අල්ලගෙන මාධ්‍යවේදියෝ හම්බ කරනවා..දැන් පිටරට ගියා ඇති..වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහනවා..” යනුවෙන් අර්ජුන රණතුංග මහතා කියා සිටියා.

MonaraMonara

ඡායාරූපය - socialnews.xyz

Colombo (Monara) June 07 - 18 වෙනි ආසියා ශාන්තිකර කලාපීය අන්තර් රාජ්‍ය ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ තහනම් උත්තේජක පිළිබඳ සමුළුව කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ මස 12 සහ 13 කොළඹදී පැවැත්වෙන මෙම සමුළුව පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

මෙවර සමුළුව සඳහා සත්කාරකත්වය ශ්‍රී ලංකාව දරන අතර එය කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවැත්වෙන අතර, ඊට රටවල් 35 ක නියෝජිතයින් එක්වීමට නියමිතයි.

සමුළුව පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වූ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගෙන් වර්තමාන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

එහිදී ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ අදහස් පළ කරමින් කියා සිටියේ ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් අදහස් පළ කර ඵලක් නොවන බවයි.

අද වනවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇෆ්ගනිස්ථානයටත් පහලින් සිටින බව පැවසූ ඔහු කියා සිටියේ “අපි ක්‍රිකට් වලින් තැනක ඉන්නව නම් අපි ඉන්න ඕනේ මෙතැන නෙමෙයි..”

“මාධ්‍යවේදීන් හම්බ කරනවා, දැන් හම්බ කෙරුවා ඇති..ක්‍රීඩා සංගම් අල්ලගෙන මාධ්‍යවේදියෝ හම්බ කරනවා..දැන් පිටරට ගියා ඇති..වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහනවා..” යනුවෙන් අර්ජුන රණතුංග මහතා කියා සිටියා.

අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් ඒ පිළිබඳ අදහස් දක්වමින් “මාධ්‍යවේදීන්ගෙන් මං ගරු කරලා ඉල්ලනවා දැන් ඔය ක්‍රීඩා සංගම් එක්ක එකට හිටියා ඇති..ඒගොල්ලන්ගෙන් යැපෙන්න එපා ක්‍රීඩාවේ නාමයෙන් ක්‍රීඩා විනාශ කරන්න එපා..” යනුවෙන් සඳහන් කළා.