ජපානයෙන් ජාතික රෝහලට MRI ස්කෑන් යන්ත්‍රයක්: ගිය ඔක්තෝබරයෙත් CT ස්කෑනරයක් දීලා
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය විසින් ජාතික රෝහලට නවතම MRI ස්කෑන් යන්ත්‍රයක් පරිත්‍යාග කර තිබෙන බව එම තානාපති කාර්යාලය විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙනවා.
ජපානය මීට පෙර ද CT ස්කෑනරයක් සහ අනෙකුත් වෛද්‍ය උපකරණ තොගයක් ජාතික රෝහල වෙත පසුගිය ඔක්තෝම්බර්යේ දී භාර දී තිබෙනවා.
මෙම උපකරණ ශ්‍රී ලංකාව තුළ රෝග විනිශ්චය කිරීමේ හැකියාවන් දියුණු කිරීමෙහිලා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව පවසන ජපාන තානාපති කාර්යාලය පවසන්නේ, මෙම අති නවීන වෛද්‍ය උපකරණ පරිත්‍යාගය තුළින් ජාතික රෝහල විසින් සිදු කරනු ලබන රෝග විනිශ්චයන් සහ තක්සේරුකරණයන්හි වැඩි වර්ධනයක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
මෙම නව පරිත්‍යාගයට උපහාරයක් වශයෙන් ඒවාට ගබඩා පහසුකම් සපයා ඇති ස්ථානය "ජපාන-ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝග විනිශ්චය මධ්‍යස්ථානය" ලෙස නම් කිරීමට ජාතික රෝහල කටයුතු කර ඇති අතර එය දෙරට අතර පවතින චිරස්ථායි සහ ශක්තිමත් මිත්‍රත්වයේ ප්‍රබල සාක්ෂියක් බවයි පවසන්නේ.
එම උත්සව අවස්ථාවේ දී මෙරට ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි මහතා සිය දේශනයේ දී ප්‍රකාශ කළේ, “ජපාන-ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝග විනිශ්චය නිරූපණ මධ්‍යස්ථානය අපේ රටවල් අතර පවතින කල්පවත්නා මිත්‍රත්වයේ අසමසම සංකේතයක්" ලෙසයි.
"මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලාංකේය ජනතාව සඳහා සෞඛ්‍ය සේවාවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපට විශ්වාසයි. මෙම අති නවීන වෛද්‍ය පහසුකම් ජීවිත බේරා ගැනීම පමණක් නොව ශ්‍රී ලාංකීය ජනතාවගේ සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කරනු ඇතැයි යන්න අපගේ අවංක බලාපොරොත්තුවයි." යනුවෙන් ඒ මහතා එහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළා.