පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීම කල්යයි: 2023 - උසස් පෙළ පැවැත්වෙන දින ඉදිරි සතියේදී

MonaraMonara

2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනයන් පිළිබඳ ඉදිරි සතියේ දී විභාග කොමසාරිවරයා විසින් දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, 2023 උසස් පෙළ විභාගය 2024 ජනවාරි දක්වා කල්දැමීමෙන් ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ සැලකිල්ලට ගත යුතු බවයි.

එය එසේ කළහොත් 2024 වසරේ මාර්තු සහ අප්‍රේල් මස පැවැත්වීමට සැලසුම් කර ඇති 2023 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2024 වසරේ මැයි සහ ජූනි දක්වා කල්දැමීමට සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ ක‌ළේ.

2023 වසරේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම 2024 වසරේ ජූලි මාසයේ දී සිදුවනු ඇති.

2024 වසරේ ජූලි මාසයේ දී ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු 2024 වසරේ අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන්ට මෙවර මෙන්ම අමතර කාලයක් ලබාදීමට සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේ.

එසේ වුවහොත් 2024 වසරේ උසස් පෙළ දෙසැම්බර් මස හෝ 2025 වසරේ ජනවාරි දක්වා කල්යනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව අධ්‍යාපන පද්ධතියේ මේ වනවිට ඇතිව තිබෙන පසුබෑම නිවැරදි කරගැනීම තවදුරටත් පමාවනු ඇති අතර පාසල් විභාග අක්‍රමවත් වීමෙන් පාසල් කාලසටහන් ද ප්‍රමාද වීමට ඉඩ ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

ඉන් පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කරගැනීම ද දින කිහිපයකින් කල්යනු ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

උසස් පෙළ ප්‍රමාද කිරීමෙන් 11 සහ 12 ශ්‍රේණිවල ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් යම් කාලයක් රැඳී සිටිම හේතුවෙන් පන්ති කාමර ඉඩකඩ ප්‍රශ්නයක් ඇති විය හැකි අතර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීමෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ද ප්‍රමාද වන බවයි පාර්ලිමේන්තුව අමතමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේ.