ඉන්දීය මුදල් ඇමතිවරිය දිවයිනට: පිළිගැනීම කම්කරු කොංග්‍රසයෙන්

MonaraMonara

ඉන්දීය මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය නිල සංචාරයක් අද පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණියා.

ඇය එහිදී පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයින් විසින්.

ඇයගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා ශ්‍රී ලංකාවට පැමිණ වසර 200 ක් ගතවීම වෙනුවෙන් පැවැත්වෙන සංවත්සර උත්සවය සඳහාද එක්වනු ඇති.

ශ්‍රී ලංකා රජය සංවිධානය කර ඇති එම උත්සවය නම් කර ඇත්තේ “NAAM 200” ලෙසයි.

එහි ප්‍රධාන දේශනය ඉන්දීය මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

එසේම, කොළඹ දී පැවැත්වීමට නියමිත ඉන්දු - ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවේදී දේශනයක් ඇය විසින් සිදු කිරීමටද නියමිත අතර ඇය විසින් යාපනයේ සහ ත්‍රිකුණාමලයේ දී ඉන්දීය රාජ්‍ය බැංකුවේ ශාඛාවන්ද විවෘත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉන්දීය මුදල් අමාත්‍යවරිය සිය නිල සංචාරයේ දී ලංකා IOC තෙල් ටැංකි පර්යන්තය, යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය සහ යාපනය මහජන පුස්තකාලය වෙතද යාමට නියමිතයි.