කැකිරාවේදී පොල්තෙල් කන්ටේනරයකට මුද්‍රා තැබේ.: විදේශීය රටක නිෂ්පාදනය කර මෙරටට ආනයනය කර තිබූ සැක කටයුතු පොල්තෙල් තොගයක් අඩංගු කන්ටේනරයක් මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ කටයුතු කළා.

MonaraMonara

පොල්තෙල් ඡායාරූපය - Dharanee.lk

විදේශීය රටක නිෂ්පාදනය කර මෙරටට ආනයනය කර තිබූ සැක කටයුතු පොල්තෙල් තොගයක් අඩංගු කන්ටේනරයක් මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ කටයුතු කළා.

ඔවුන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි අදාළ පොල්තෙල් තොගය අඩංගු කන්ටේනර් රථය සොයා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ.

ඒ, කැකිරාව - මාංකඩවල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක නවතා තිබියදීයි.

කැකිරාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් එම ආනයනික පොල්තෙල් තොගය රැගෙනවිත් ඇති අතර, ඒවා මිනිස් පරිභෝජනයට සුදුසුද නැද්ද යන්න සම්බන්ධයෙන් වූ නිසි තත්ත්ව වාර්තා ඉදිරිපත් කිරීමට එම අවස්ථාවේදී අදාළ ව්‍යාපාරිකයා අපොහොසත් වී තිබෙනවා.

ඒ හේතුවෙනුයි එම පොල් තෙල් තොගය සිය භාරයට ගැනීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

එලෙස සෞඛ්‍ය බලධාරීන් භාරයට ගනු ලැබූ පොල්තෙල් ප්‍රමාණය ලීටර් 23,500 ක් වන අතර, එම පොල්තෙල් තොගයේ වෙළඳපොල වටිනාකම රුපියල් කෝටි එකහමාරක් පමණ වන බව සඳහන්.

එම ආනයනික පොල්තෙල් තොගය මිනිස් පරිභෝජනයට සුදුසුද යන්න සොයා බැලීම සඳහා කැකිරාව සෞඛ්‍ය බලධාරීන් අදාළ පොල්තෙල් තොගයෙන් සාම්පල ලබාගෙන තිබෙනවා.

එම සාම්පල රසායනාගාර පරීක්ෂාව සඳහා අනුරාධපුර ආහාර රසායනාගාරයේ රජයේ අනුමත අතිරේක රසපරීක්ෂකවරයා වෙත යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අදාළ පොල්තෙල් තොගය පිළිබඳ වාර්තා ලැබෙනතුරු ඒවා අඩංගු කන්ටේනරය මුද්‍රා තැබීමටද කැකිරාව සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා.