සාක්ෂි ඇත්නම් විමර්ශන කර සත්‍ය හෙළි කරන්න - සිරිල් ගාමිණි පියතුමන්: කතෝලික සභාව හැටියට තම ආගමට කිසිවෙකුත් බලෙන් බඳවා ගෙන නොමැති අතර ඉදිරියටත් එලෙස බඳවා නොගන්නා බව සිරිල් ගාමිණි පියතුමා පවසයි.

MonaraMonara

සිරිල් ගාමිණි පියතුමන් ප්‍රාදේශීය වාර්තාකරු - කොළඹ - නිරෝෂන්

මෙරට බුදු දහම විනාශ කිරීම සඳහා මුදල් ලබා දෙන ජාත්‍යන්තර සංවිධාන තිබෙන බවට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සිදු කළා යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිදුකළ යුත්තේ ‍ඒ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම බව කතෝලික සභාව පවසනවා.

අද මාධ්‍ය හමුවක් කැඳවමින් සිරිල් ගාමිණි පියතුමන් පැවසුවේ, අමාත්‍යවරයා සතුව ඒ සම්බන්ධයෙන් සාක්ෂි හෝ දත්ත තිබේ නම් එය ආරක්ෂක අංශ වෙත ලබාදී ඒ පිළිබඳ පුළුල් සහ ස්වාධීන පරීක්ෂණයක් සිදු කර සත්‍ය අනාවරණ කර ගැනීම ඔහු සතු වගකීමක් බවයි.

මෙම අර්බුද හමුවේ සිදුවන්නේ, සිංහල බෞද්ධ ජනතාව කතෝලික ආගමට බඳවා ගැනීමක් බවට සිදුකෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් සිරිල් ගාමිණි පියතුමන්ගෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් පියතුමන් කියා සිටියේ, කතෝලික සභාව හැටියට තම ආගමට කිසිවෙකුත් බලෙන් බඳවා ගෙන නොමැති අතර ඉදිරියටත් එලෙස බඳවා නොගන්නා බවයි.

ආගමික විශ්වාසයන්ට සහ ආගමික ශාස්තෲවරුන්ට අපහාස කිරීම කතෝලික සභාව කිසිවිටෙකත් අනුමත නොකරන බවද ඔහු මෙහිදී කියා සිටියා.

ආගම්වලට අපහාස කර ඇතැයි සැකකෙරෙන පුද්ගලයින් පිළිබඳ මෙන්ම ඔවුන් පසුපස සිටින සියලු සංවිධාන පිළිබඳවත් පුළුල් විමර්ශනයන් සිදුකර සත්‍ය හෙළිදරව් කර ගැනීම, ආරක්ෂක අංශවල වගකීමක් බවයි සිරිල් ගාමිණි පියතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.