විගණන වාර්තාවලටත් වැඩි වංචා දූෂණ තොරතුරු මං ළඟ තියෙනවා: සී.අයි.ඩීය තාමත් මොකුත් වාර්තාවක් දී නෑ

MonaraMonara

විගණන වාර්තාවල සඳහන් කරුණු වලටත් වඩා දුම්රිය දෙපාර්තමේන්තුවේ සිදුවන දූෂණ, වංචා, අක්‍රමිකතා පිළිබඳ තමන් තොරතුරු දන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

එම නිසා තමන් ඒ් පිළිබඳ වැඩිදුර විමර්ශනය කොට මහජන දේපළ සොරාකෑ අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවයි, අමාත්‍යවරයා කියා සිටියේ.

එහෙත් මේ දක්වා තමන්ට එකී පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ දැනුම්දීමක් සිදුකර නැති බව ඇමතිවරයා සඳහන් කළා.

අද (29) කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

2021 වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුව විසින් උපයන ලද ආදායම රු.බිලියන 2.6ක් බවත්, අතිකාල දීමනා ‌ගෙවීමට පමණක් බිලියන 2.3ක් වැය කරන්නට සිදුවුණු බවත් ඇමතිවරයා පෙන්වා දුන්නා.

එසේම දුම්රිය දෙපාර්තමේන්තුවේ වැටුප් ගෙවීමට රු.බිලියන 7ක මුදලක් යන බවත්, සමස්තයක් ලෙස බැලූ විට මේ අයුරින් වාර්ෂිකව බිලියන 10ක පමණ පාඩුවක් සිදුවන බවත්, ඒ් නිසාම එය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව කටයුතු සිදුකළ යුතු බවත් ඔහු අවධාරණය කළා.

ඒ් අනුව දුම්රිය දෙපාර්තමේන්තුව ඉන්ධන පිරිවැයවත් උපයා ගත යුතු මට්ටමට ගෙන ආ යුතු බවත්, දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තුව පවා ඉතා අඩු මට්ටමක පවතින බවත්, ඇමතිවරයා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නීතිමය කටයුතුද, හරස්වී ඇති බැවින් මේ සියලු පැතිකඩ සම්බන්ධයෙන් සොයාබලා නිර්දේශ ලබාදීමට හිටපු කීර්තිමත් නිලධාරීන්, ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥයින්, විශ්වවිද්‍යාල විද්වතුන් ආදී අය නියෝජනය වන පරිදි කමිටුවක් පත් කොට මේවන විට ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් වන තුරු සිටින බවයි, අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.