වැට් බද්දෙන් නිදහස් වන භාණ්ඩ ලැයිස්තුව මෙන්න: ලබන ජනවාරියේ සිට ක්‍රියාත්මකයි

MonaraMonara

පසුගිය නොවැම්බර් මාසයේ දී පාර්ලිමේන්තුවේ දී සම්මත කළ වැට් බද්දෙන් නිදහස් වන භාණ්ඩ ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්.

ඒ අනුව ළදරු කිරිපිටි, පාන් පිටි, සුවඳ විලවුන් නොවන ඖෂධ නිෂ්පාදන, ආයුර්වේද නිෂ්පාදන, බොරතෙල්, භූමිතෙල් සහ ගුවන්යානා ඉන්ධන ඇතුළත්.

ආබාධිත පුද්ගලයන්ට අවශ්‍ය උපකරණ, ජෛව පොහොර, බීජ වර්ග සහ පැළ වර්ග මෙන්ම කුකුළු ආහාර හැර අනෙකුත් සත්ව ආහාර ඊට එක් කර තිබෙනවා.

රෙදිපිළි කර්මාන්තය සඳහා අවශ්‍ය නූල්, අත්යන්ත්‍ර කර්මාන්තය සඳහා අවශ්‍ය ඩයි වර්ග, දේශීයව නිෂ්පාදනය කරන ලද අත්යන්ත්‍ර රෙදිපිළි, ශල්‍යකර්ම සඳහා භාවිත කරන දේශීයව නිෂ්පාදනය කරන ලද ශල්‍ය ගෝස් වැට් බද්දෙන් නිදහස් වනු ඇති.

අධ්‍යාපනික සේවා, විදුලිය සහ බෙදාහැරීම, පොදු මගී ප්‍රවාහන සේවා, ඕනෑම ආයතනයක් හෝ පුද්ගලයකු විසින් භූමදානය සහ ආදාහන කටයුතු සම්බන්ධ සේවා වැට් බද්දෙන් නිදහස් කෙරෙනවා.

රෝහල් කාමර ගාස්තු හැර එවැනි සත්කාර සපයන සුදුසුකම් ලත් පුද්ගලයන්, වෛද්‍ය ආයතන හෝ වෘත්තීයමය වශයෙන් සපයනු ලබන සියලුම සෞඛ්‍ය සේවා, වයෝවෘද්ධ සේවා සහ ළමා ආරක්ෂණ සේවා අදාළ ලැයිස්තුවට ඇතුළත්.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආගමන කවුන්ටරයට ඔබ්බෙන් පිහිටි අවන්හල් සේවා, ඕනෑම ජංගම, තැන්පතු හෝ ඉතුරුම් ගිණුම් කටයුතු, මුදල් හුවමාරු, කිසියම් කොටස් සුරුකුමක, ණය සුරක්ෂිතතාවයක හෝ සහභාගීත්ව සුරක්ෂිතභාවයක හිමිකාරිත්වය නිකුත් කිරීම, හෝ පැවරීම වැනි භාණ්ඩ හා සේවා 45ක් පමණ ඒ අතර තිබෙනවා.