ගම්පොළ තරුණිය ඝාතනය කරලා ? සැකපිට අයෙක් අත්අඩංගුවට: තරුණ‌යෙකු එළුවන්ට තණකොළ කැපීමට යාමේදී මෙම තරුණිය පැමිණෙන අයුරු දැක, ඇයට අතවර කිරීමට උත්සාහ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

MonaraMonara

සේවා ස්ථානයට යාම සඳහා පිටත්ව ගිය තරුණියක් දින පහක් තිස්සේ අතුරුදන්ව ඇති පුවතක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වුණා.‍

22 හැවිරිදි ෆාතිමා මුනව්රා නම් මෙම තරුණිය ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

ඉකුත් ඉරිදා (07) ඇය නිවසින් පිටත්ව ඇත්තේ ගෙලිඔය නගරයේ ඇය සේවය කළ ඔසුසල වෙත පිටත්ව යාමටයි.

සේවා ස්ථානයට යෑම සඳහා ඇය නිවසින් පිටත්ව මීටර 100 ක් පමණ පාගමනින් ගොස් ඇති අතර, එම මාර්ගයේ හමුවන මුස්ලිම් පල්ලියක CCTV කැමරාවේ එම දසුන් සටහන් වූවද ඉන් පසුව හමුවන CCTV කැමරාවන්හි ඇය ගැන කිසිදු සඳහනක් නොමැති බවයි වාර්තා වූයේ.

මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා අද (12) සඳහන් කර සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයින් කිහිපදෙනෙක් පිළිබඳව විමර්ශන සිදුකර එක් අයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බවයි.

ඔහු එම ප්‍රදේශයේම පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක්.

එළුවන් බලාගන්නා පුද්ගලයෙක් ලෙස කටයුතු කරන මෙම සැකකාර තරුණයා එළුවන්ට තණකොළ කැපීමට යාමේදී මෙම තරුණිය පැමිණෙන අයුරු දැක ඇති අතර, ඇයට අතවර කිරීමට ඔහු උත්සාහ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ඇයගේ ප්‍රතික්ෂේප කිරීම හමුවේ ඇයව අසල කැලෑ ප්‍රදේශයකට රැගෙන ගොස් ඇති බව සඳහන්.

දැනට වාර්තා වන කරුණු අනුව එහිදී ඇය ඝාතනය කර වළදමා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, ඇයගේ සිරුර මෙතෙක් සොයාගෙන නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.