“One Galle Face” හි බීමතින් ගුටි කෙලියකට මැදි වූ සුරාබදු නිලධාරීන්ට වැඩවරදී: කොළඹ - වන් ගෝල්ෆේස් ගොඩනැගිල්ලේ ආපන ශාලාවක් තුළ ආරවුලකට මැදි වූ සුරාබදු දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

MonaraMonara

ඡායාරූපය - onegalleface.com

Colombo (Monara) June 07 - කොළඹ - වන් ගෝල්ෆේස් ගොඩනැගිල්ලේ ආපන ශාලාවක් තුළ ආරවුලකට මැදි වූ සුරාබදු දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස්, කපිල කුමාරසිංහ මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

එසේම, අදාළ සිදුවීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බව ප්‍රකාශ කළ මාධ්‍ය ප්‍රකාශකවරයා සිදුවීමට සම්බන්ධ වූ නිලධාරීන් හඳුනාගැනීමෙන් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් ඉතා කඩිනමින් විමර්ශනයක් සිදුකරන බවයි සඳහන් කළේ.

එහිදී හඳුනා ගන්නා නිලධාරීන් සියලුදෙනා වැඩතහනම් කිරීමකට හෝ සුදුසු දඬුවමකට යටත් කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළ ඔහු එම ගොඩනැගිල්ලේ වෙනත් ස්ථානයක පැවති උපන්දින සාදයකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටියදී එම සුරාබදු නිලධාරීන් එලෙස ආරවුලක් ඇති කරගෙන ඇති බව කියා සිටියා.

ඒ අනුව මෙම සිදුවීම සිදුව ඇත්තේ රාජකාරී වේලාවක නොවන බවත් සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළා.

එම සිද්ධියේදී තුවාල ලැබූ සුරාබදු නිලධාරින් දෙදෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ප්‍රකාශ කළ ඔහු ඊට අමතරව සිවිල් පුද්ගලයෙකුත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි කියා සිටියේ.

මෙම ආරවුලට සම්බන්ධ වී සිටින්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් බවට දැනට තහවුර වී ඇතැයිද කපිල කුමාරසිංහ මහතා සඳහන් කළා.

බීමත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් කොළඹ වන් ගෝල්ෆේස් වෙළෙඳ සංකීර්ණයේ පිහිටි පීසා ආපන ශාලාවක සේවකයෙකුට පෙරේදා රාත්‍රියේ පහරදී තිබූ අතර, පහරකෑමෙන් තුවාල ලැබූ අදාළ ආපන ශාලාවේ ප්‍රධාන කෝකියා හා සුරාබදු නිලධාරියෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියා සිටියා.

පීසා ආපන ශාලාවේ සේවකයෙකු සේවය අවසන් කර පිටතට යෑම සඳහා තම හෙල්මටය අසල වූ මේසයක් මත තබා තිබෙනවා.

ඒ අතරතුර පැමිණි සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් එම හෙල්මටය රැගෙන යෑමට උත්සාහ කර නැවත වතාවක් එම ස්ථානයේ තබා යන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබූ අයුරු නිරීක්ෂණය වුණා.

ඒ පිළිබඳ අදාළ ආපන ශාලාවේ කළමනාකාරවරයා හා එහි ප්‍රධාන කෝකියා, අදාළ නිලධාරීන් කණ්ඩායම සමග බහින්බස්වීක් ඇති වූ අතර, අනතුරුව සුරාබදු නිලධාරීන් ප්‍රධාන කෝකියාට පහරදීමට උත්සාහ දරණ අයුරු CCTV කැමරාවල සටහන්ව තිබුණා.

අනතුරුව 15 දෙනකුගෙන් පමණ සමන්විත සුරාබදු නිලධාරීන් පිරිසක් එම ස්ථානයෙන් ගොස් නැවත පැමිණ එහි ප්‍රධාන කෝකියාට බිම දමාගෙන දරුණු ලෙස පහරදී තිබූ අතර, පහරකෑමෙන් තුවාල ලැබූ ප්‍රධාන කෝකියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

පොලිසිය පැවසුවේ පහරදීම සිදුකළ සුරාබදු නිලධාරීන් එම අවස්ථාවේදී අධික ලෙස බීමත්ව සිට ඇති බවයි.

මේ වනවිට ඔවුන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන වැඩිදුර විමර්ශන කොටුව පොලිසිය විසින් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීන් නීතීඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කියා සිටියා.