කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ: ක්‍රිප්ටොකරන්සි භාවිතයටත් අවසර

MonaraMonara

කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සිල්ලර වෙළෙඳාම හෝ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදු කර ගෙන යාමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජයේ මුද්‍රණාලය කටයුතු කර ඇත්තේ.

ඊට අවශ්‍ය උපදෙස් සහ අත්සන තබා ඇත්තේ, අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

ඒ අනුව තීරු බදු රහිත සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා අයෝජකයෙකු විසින් අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 05ක ආයෝජනයක් කළ යුතුයි.

එම අයෝජකයාට තීරු බදු රහිත වෙළෙඳ මෙහෙයුම් සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් පළපුරුද්දක් තිබිය යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර වරාය නගරය තුළ ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency) හුවමාරු දෙකක් පවත්වාගෙන යාමට අවසර ලබා දී තිබෙනවා.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් ඊට අදාළ අනුමැතිය ලබා දුන් බවයි, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහ බැංකුවෙන් විමසා මතය ලබා ගත යුතුයි.

පසුගිය 24 වනදා කොළඹ වරාය නගරයේ ක්‍රියාකාරීව සිටින ව්‍යාපාරික සමාගම් 10 සම්බන්ධව අදාළ කාරක සභාවේ දී සාකච්ඡා වූ බව සඳහන්.

මෙම සමාගම් ගිවිසුම් ගතවීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

මෙම සමාගම් ගිවිසුම් ගත වී ඇත්තේ, ක්‍රම 3ක් යටතේයි.

ඒ වරාය නගරය සකස් කිරීමට පෙර, වරාය නගරය සකස්වන කාලසීමාව තුළ සහ වරාය නගරය සකස් කිරීමෙන් පසු ගිවිසුම් ගතවීම ආදී වශයෙන්.

මෙම ගිවිසුම් ගතවීම කිසියම් නීතිමය පදනමක් යටතේ එක් ක්‍රමවේදයක් අනුව සිදු වී නැහැ.

ඒ හේතුවෙන් මේ සම්බන්ධයෙන් සති 4ක් ඇතුළත නීතිපතිවරයාගේ මතය විමසා මුදල් කාරක සභාව වෙත ඒ පිළිබඳ දැනුම්දෙන ලෙසයි නිර්දේශ කර ඇත්තේ.