මන්ත්‍රී හර්ෂට මුදල් කාරක සභාවේ සභාපති පුටුව: සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරයට අද පත් කරනු ලැබුවා.

MonaraMonara

ඡායාරූපය - දිනමිණ.

Colombo (Monara) June 07 - සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරයට අද පත් කරනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා එම තනතුරට පත් කරන්නැයි කමිටුවට යෝජනා කරනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායී.

එම යෝජනාවට කාරක සභාවට එක්ව සිටි සියලු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය පළ වූ බවයි වාර්තා වන්නේ.

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරය මාස 05 කට වැඩි කාලයක් තිස්සේ පුරප්පාඩු වී පැවතුණා.

මෙතෙක් එම කමිටුවේ කටයුතු මෙහෙයවනු ලැබුවේ කමිටුව තෝරා පත්කරගත් තාවකාලික සභාපතිවරුන් විසින්.

එම සභාපති ධුරය හර්ෂ ද සිල්වා මහතාට ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කතානායකවරයාගෙන් පසුගිය කාලයේදී දිගින් දිගටම ඉල්ලා සිටියත් ඔහුට එය හිමිවූයේ නැහැ.

මීට පෙර ආණ්ඩු පක්ෂය ඒ සඳහා මයන්ත දිසානායක මහතාගේ නම යෝජනා කර සභාපති ධුරයට පත් කරගත්තද, විපක්ෂයෙන් එල්ල වූ විරෝධය හමුවේ පසුව ඔහු ඉල්ලා අස්වුණා.

හර්ෂ ද සිල්වා මහතා නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරය හෙබ වූ අතර, පාර්ලිමේන්තුවේ ඉතා වැදගත්ම කාරක සභාවක් ලෙස රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව සැලකේ.

මූල්‍ය පාලන බලතල අධීක්ෂණය කිරීමේ කටයුතු එම කාරක සභාවට පැවැරී ඇත.