ජනකට තර්ජන එල්ල කළ සිද්ධියේ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට: උඩින් ලැබුණු උපදෙසකට ගත් පියවරක්

MonaraMonara

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණ තර්ජන එල්ල කර මුදල් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉදිරි විමර්ශන සිදු කිරීම එම දෙපාර්තමේන්තුවට භාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියා.

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගෙන්, ඔහුව ඝාතනය නොකර සිටීමට සංවිධානාත්මක අපරාධ කල්ලියක් රුපියල් ලක්ෂ 15 ක කප්පම් මුදලක් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වුණා.

පසුගිය 16 වැනිදා පෙරවරුවේ ජනක රත්නායක මහතාට ලැබුණු දුරකත ඇමතුමකට අනුව පවසා ඇත්තේ, ඔහුව ඝාතනය කිරීම සඳහා බ්ලූමැන්ඩල් සංඛ යනුවෙන් හඳුන්වා දුන් පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 80ක කොන්ත්‍රාත්තුවක් ලබා දුන් බවයි.

ඒ අනුව දුරකතන ඇමතුම ලබා දුන් තැනැත්තා පවසා ඇත්තේ, තමන් එලෙස ඝාතනය සිදුනොකරන බවත්, එසේ සිදුනොකර සිටීමට රුපියල් ලක්ෂ 15 ක් ලබාදෙන ලෙසයි.

එම ඇමතුම අනුව පැමිණිලිකරු වන ජනක රත්නායක මහතා තම කාර්යාලයේ ඇති මුදල්වලින් රුපියල් ලක්ෂ 15 ක මුදලක් තමන්ට ඇමතුම් ලබා දුන් පුද්ගලයා වෙත ලබා දෙන ලෙසට සේවකයකුට දැනුම් දී තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.