නාඳුනන කාන්තා මළ සිරුර: ග්‍රේට් වෙස්ටන් කඳු මුදුනේ කඳවුරු බැඳීම තහනම් වෙයි

MonaraMonara

අද (02) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි තලවාකැලේ ග්‍රේට් වෙස්ටන් කඳු මුදුනේ කඳවුරු බැඳීම තහනම් කර තිබෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.

ඊයේ (01) පස්වරුවේ එම කඳු මුදුනේ තිබී හඳුනා නොගත් කාන්තා මළ සිරුරක් හමුවීමෙන් අනතුරුවයි අදාළ තීරණය ගෙන ඇත්තේ.

එම මළ සිරුර මේ වන ව්ට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා ළිඳුල පොලිසියට නියෝග කර තිබෙනවා.

මෙම මළ සිරුර ග්‍රේට් වෙස්ටන් කඳු මුදුනේ තිබෙන බව දැනුම් දී තිබුණේ එම කඳු මුදුනේ කඳවුරු බැඳීමට පැමිණි පිරිසක් විසින් වන අතර අනතුරුව ලිඳුල පොලිසියේ නිලධාරින් සහ නුවර එළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා ද එම මළ සිරුර සොයා ග්‍රේට් වෙස්ටන් බලා පිටත් ව ගොස් තිබුණා.

මිය ගොස් ඇති කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර පිරිසක් සමඟ කඳු මුදුනේ කඳවුරු බැඳීමට පැමිණි අයෙක් බවයි පොලිසිය සැක කරන්නේ.

මේ අතර මිය ගිය කාන්තාවගේ ඥාතින් වෙතොත් පොලිසිය වෙත දන්වන ලෙස ළිඳුල පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර ඇය සමග කඳවුරු බැඳීමට පැමිණි පිරිස පිළිබඳ කිසියම් තොරතුරක් වෙතොත් දන්වන ලෙස ද පොලිසිය ඉල්ලා සිටිනවා.