මල්ලි මම තමයි භාරත ලක්ෂ්මන්ව මරපු 'සුද්දා': ව්‍යාපාරිකයෙකුට කප්පම් ඉල්ලා ඇමතුමක් දුන්නේ 'මන්නා රමේෂ්' ද?
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කළ "සුද්දා" නමැත්තා තමන් බව පවසමින්, මත්තේගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට දුරකතන ඇමතුමක් ලබා දී කප්පම් ඉල්ලූ බව පැවසෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මත්තේගොඩ පොලිසියෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කරනවා.
මීට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් ද වෙන ම විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව ද එම පුවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා.
මෙම දුරකතන ඇමතුම ඉකුත් 20 වැනි දා ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලට අනුවයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.
මෙරට ප්‍රධාන පෙළේ නිෂ්පාදන ආයත කිහිපයක අලෙවි නියෝජිතයෙකු වන පැමිණිලිකරු සිය පැමිණිල්ලේ දී සඳහන් කර තිබුණේ, "මල්ලි මම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මරපු කෙනා, මගෙ නම 'සුද්දා' ඔයා මාව දන්නවා ඇතිනේ, කොළඹ බිස්නස්කාරයෝ නම් මාව නොදන්න කෙනෙක් නෑ. ඔයාට මත්තෙගොඩ සහ දියගම කඩවල් දෙකක් තියෙනව නේද? කොළඹ අවට බිස්නස් කරන අය මට හොඳට සලකනවා. ඔයත් මට සලකන්න ඕනි. පුලුවන් නේද? ඒක ඔයා කැමති ගාණකින් පටං ගන්න පුලුවන්.
එහෙම නැති වුණොත් දන්නවනේ උඹගේ අම්මට තාත්තට පවුලට දරුවොන්ට උඹව නැති වේවි. මත්තෙගොඩ මහ පාරෙ උඹව පෙනේරයක් වගේ මරලා දානවා දැනගනිං" යනුවෙන් බවත් එම පුවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා.
අනතුරුව පොලිසියට පැමිණිල්ලක් කළ පසු, පොලිසියේ උපදෙස් පරිදි පැමිණිලිකරු නැවත වතාවක් එම දුරකතන අංකයට ඇමතුමක් ගෙන තිබූ අතර එහි දී, සැකකරු ඊට පිළිතුරු දෙමින් පවසා තිබුණේ, "හරි හරි ෆෝන් එක තියපං. මම තව දවස් දෙක තුනකින් උඹව හම්බවෙන්න එනවා" යනුවෙන් බවත් එම පුවත් වාර්තාව වැඩිදුරටත් වාර්තා කරනවා.
මේ අතර පසුව අදාළ දුරකතනය අන්තර්ජාල ක්‍රමවේද ඔස්සේ පරීක්ෂා කිරීමේ දී එහි හඳුනා ගැනීමේ නාමය, "මන්නා රමේෂ්" යනුවෙන් වූ බව ද එම පුවත් වාර්තාව වැඩිදුරටත් දක්වනවා.
කෙසේ නමුත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.