මුහුදු ගිය ජපන් ජාතිකයෙකු ඇතුළු තවත් පිරිසක් අතුරුදන්: කාලගුණය හරස්වී බෝට්ටුව පෙරළෙයි

MonaraMonara

ඡායාරූප : getty image

මාරවිල, මුහුදුකට්ටුව ප්‍රදේශයේ දී මුහුදු ගිය බෝට්ටුවක් පෙරළී යාමෙන් ජපන් ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු අතුරුදන් වී ඇති බව පොලීසිය පවසනවා.

අතුරුදන් වී ඇතැයි සඳහන් බෝට්ටුවේ හිමිකාරිනිය වන මාරවිල - උතුරු මූදුකටුවේ පදිංචි ශ්‍රියානි ජීවනී ප්‍රනාන්දු යන අය විසින් ඒ බව අද (19) අලුයම 03.30ට පමණ මාරවිල පොලීසියට දැනුම් දීමට කටයුතු කර තිබෙනවා.

මසුන් ඇල්ලීමට කුඩා ඩිංගි බෝට්ටුවකින් ජපන් ජාතිකයෙකු ඇතුළු 05 දෙනෙකු මාරවිල - කුරුස පල්ලිය ආසන්නයෙන් මුහුදට ගොස් ඇත්තේ ඉකුත් 18 වැනිදා සවස 05.30ට පමණය.

මසුන් මරමින් සිටින අතරතුර ඇති වූ වැසි සහිත කාලගුණය සමඟ බෝට්ටුව මුහුදේ පෙරළී ගොස් ඇති අතර බෝට්ටුව පදවා ගෙන ගිය අය විසින් මේ බව දුරකථන පණිවුඩයක් මඟින් ගොඩබිම සිටින තවත් ධීවරයෙකුට දැනුම්දීමට කටයුතු කර ඇත.

ඒ අනුව බෝට්ටුව පෙරළී ගිය බව කියන ප්‍රදේශයට ගිය තවත් පිරිසක් විසින් බෝට්ටුව පදවාගෙන ගිය අයව බේරාගෙන ගොඩබිමට ගෙනවිත් තිබේ.

මෙලෙස අතුරුදන් වූ පිරිස සොයා නාවික හමුදාවේ සහාය ඇතිව මෙහෙයුමක් දියත් කිරීමට කටයුතු කර ඇති බවයි මාරවිල පොලීසිය පවසන්නේ.