ලබන වසරේ ඇරඹෙන ‘’ආරුවක්කාලු”: කොළඹ අග නගරයේ දෛනිකව එකතු වන කසල මෙට්‍රික්ටොන් 1200ක් පමණ කැලණිය, වනවාසල සිට කිලෝමීටර 170ක් පමණ දුරින් පිහිටි පුත්තලම, අරුවක්කාලු කසල අංගනය දක්වා දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම සිදු කරයි
අරුවක්කාලු කසල ගොඩබෑම, කසල පැටවීම සහ කසල රඳවන පහසුකමේ මෙහෙයුම් කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
ඒ අනුව අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ එහි ඉදිකිරීම් කටයුතු මෙම වසර අවසන් වනවිට නිම කරන ලෙසයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ විසින් මේ සම්බන්ධයෙන් වන නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
දිනෙන් දින ඉහළ යන නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුව විසඳීම සඳහා සනීපාරක්ෂක කසල රඳවනයක අවශ්‍යතාවය අරමුණු කරගනිමින් මෙම කසල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මේ වනවිට අරුවක්කාලු කසල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේයි.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ, කොළඹ අග නගරයේ දෛනිකව එකතු වන කසල මෙට්‍රික්ටොන් 1200ක් පමණ කැලණිය, වනවාසල සිට කිලෝමීටර 170ක් පමණ දුරින් පිහිටි පුත්තලම, අරුවක්කාලු කසල අංගනය දක්වා දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම සිදු කරනු ලබනවා.
මෙහිදි අරුවක්කාලු කසල අංගනය සහ කැලණිය - වනවාසල අපද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථාන ඉදිකෙරනවා.
චීන සමාගමක් වන චයිනා හාබර් ඉංජිනේරු සමාගම සහ සවුත්වෙස්ට් මියුනිසිපල් ඉංජිනියරිං ඇන්ඩ් රිසර්ච් ඉන්ස්ටිටියුට් ඔප් චයිනා සමාගම විසින් එහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබන බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙම අපද්‍රව්‍ය අරුවක්කාලු කසල මධ්‍යස්ථානයේ ගොඩබෑමෙන් අනතුරුව එහි අසළ පිහිටි සනීපාරක්ෂක කසල රඳවනයට බැහැර කෙරෙනු ඇති.
එහිදී දිනකට උපරිම වශයෙන් දුම්රිය ගමන්වාර දෙකක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ.
මෙලෙස ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය ආරම්භවීමෙන් පසු දුම්රිය මාර්ගයේ ගමනාගමනය ඉතා අධික වනවා.
එබැවින් පුත්තලම නූර් - නගර් සිය අරුවක්කාලු දක්වා දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවක් ද මතුව ඇති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේ.