මුදල් විශුද්ධිකරණය යටතේ දේවගැති ජෙරොම්ට එරෙහිව තවත් විමර්ශනයක්: මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව විමර්ශනයක් සිදු කෙරෙන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

MonaraMonara

ඡායාරූපය - slguardian.org

Colombo (Monara) June 15 – මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව විමර්ශනයක් සිදු කෙරෙන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගොනුකළ රිට් පෙත්සම අද සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදීයී.

පෙත්සම සෝභිත රාජකරුණා සහ ඒ.මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා මෙම දැනුම්දීම සිදුකළා.

එහිදී තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතාද මතු කළා.

අනතුරුව පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන 19 වැනිදා දක්වා කල් තැබීමටයි විනිසුරු මඩුල්ල නියෝග කළේ.