අග්බෝ වෙනුවෙන් තවත් අස්වැන්නක් (ඡායාරූප): ඉක්මන් සුවය පතා අග්බෝට සෙත් පිරිත් සජ්ජායනයක්
බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතළ තුවාල ලබා තුන් මසක් ප්‍රතිකාර ලබන අග්බෝ ඇතාගේ ආහාරය සඳහා තමන් වගා කළ වී අස්වැන්නෙන් කොටසක් තෙවැනි වරටත් ලබාදීමට ඉපලෝගම වැසියන් පියවර ගෙන තිබුණා.
කලාවැවෙන් පෝෂණය වන මහවැලි එච් කලාපයේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අස්වැද්දුම ගම්මානයේ ගොවි නියෝජිතයින් පිරිසක් විසින් මෙවර යල කන්නයේ වගා කළ වී ගොයමෙන් කොටසක් කපා මෙලෙස ලබාදී තිබෙනවා.
මෙලෙස අග්බෝ ඇතාට මෙම ගොයම ලබා දී ඇත්තේ තිරප්පනය, වන්නම්මඩුව වැව් පිටියේදීයි.
අග්බෝ ඇතා ඊයේ (12) වන්නම්මඩුව වැව් පිටියේ රැඳී සිට ඇති අතර, සවස වැවට බැස ජලස්නානය කර අග්බෝ ගොවීන් විසින් ලබා දුන් ගොයම භුක්ති විදීමට පැමිණ සිටියා.
අග්බෝ හස්තියාට ආහාර පිණිස ගොයම් එක්කාසූ කිරීමට, ධාතුසේන ගොවි සංවිධානයේ නියෝජිතයින් මෙන්ම, එම ගම්මානයේ කාන්තා ගොවි සංවිධාන නියෝජිතයින්ද කටයුතු කර ඇති අතර, එම කාන්තාවන්ද ගොයම් රැගෙන පැමිණ හස්තියා වෙත ලබාදී තිබෙනවා.
අනතුරුව හස්තියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සහ ප්‍රතිකාර සිදු කරන වනජීවී නිලධාරීන්ට ආශිර්වාද කරමින් කළාකරඹෑව ශ්‍රී විද්‍යාධාර මහා පිරිවෙනෙහි, පරිවේනාධිපති, කළාකරඹෑවේ ධම්මකිත්තී ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනයක් ද සිදුකළා.