ෆොන්සේකා එලවන්න සියල්ල සූදානම්?: කේලම් මල්ලක් සජිත්ට

MonaraMonara

සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව, එම පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කරන ලෙසට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව ජාතික පුවත්පතක් අද (10) වාර්තා කළා.

එම පුවත් වාර්තාව වැඩි දුරටත් සඳහන් කරන්නේ, සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් මේ සතියේ දී පැවැත් වීමට නියමිත අතර එහි දී මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සමග සාකච්ඡා කර ඇති ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දී ඇත්තේ, ෆොන්සේකා මහතා පක්ෂයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගවලට අවනත් නොවී දිගින් දිගට ම නායකත්වය සහ පක්ෂය විවේචනය කරමින් ප්‍රකාශ සිදු කරද්දී ඔහුව තවදුරටත් පක්ෂයේ සභාපති ධුරයේ තබා ගත යුතු ද යන්නයි.

එබැවින් ෆොන්සේකා මහතාව තවදුරටත් පක්ෂ සභාපති ධුරයේ තබා ගැනීමෙන් පක්ෂයට විශාල හානියක් සිදු විය හැකි බැවින් වහා ම පක්ෂයේ විනය කමිටුව කැඳවා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ඔවුන් විපක්ෂ නායකවරයාට පෙන්වා දී තිබෙනවා.

මීට පෙර ෆොන්සේකා මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් ද සජිත් ප්‍රේමදාස මගතාගෙන් ඉල්ලා තිබුණා.

ෆොන්සේකා මහතා පිළිබඳ මෙම මතභේදය තීව්‍ර වීමට පටන් ගත්තේ, ඉකුත් දා හිටපු යුධ හමුදාපතිවරයෙකු වූ ජෙනරාල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගය සමග එක් වීමෙන් පසුව ෆොන්සේකා මහතා පළ කළ අදහස්වලින් අනතුරුවයි.