ඇහැලේපොළ වලව්ව දළදා මාලිගාවටද?: ගන්නේ නැතිනම් ආයෝජන ව්‍යාපෘතියකට

MonaraMonara

මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැලේපොළ වලව්ව, දළදා මාලිගාව භාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

ඇහැලේපොළ වලව්ව ආයෝජන ව්‍යාපෘතියක් ලෙස යෙදවීමේ දී එහි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවයද ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා විසින් අවධාරණය කර ඇති බව සඳහන්.

ඓතිහාසික ඇහැලේපොළ වලව්ව සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 147ක් පමණ වැයවී ඇති අතර මෙම දේපළ දළදා මාළිගාවට පවරා ගන්නේ නම් සංවර්ධන කටයුතු වෙනුවෙන් වැයවූ මුදල යළි නාගරික සංවර්ධන අධිකාරියට ගෙවිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

අදාළ මුදල ගෙවීමට දළදා මාළිගාව අකමැති නම් එම දේපළ ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගත යුතු බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා අවධාරණය කළා.

කෙසේ වෙතත්, මෙම දේපළ සංවර්ධනය කිරීමට වැයවූ මුදල් නැවත ගෙවීම සම්බන්ධයෙන් දළදා මාලිගාව පැහැදිලි පිළිතුරක් ලබාදී නොමැති බව උපදේශක කාරක සභාවේදී අනාවරණය වුණා.