ශ්‍රී ලංකාව පරදා ඇෆ්ගන් A කණ්ඩායමට ලකුණු 12ක තියුණු ජයක්: ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායමේ ජයග්‍රහණය දුරස් වූයේ ලකුණු 241ක් ලබා සිටියදියි.

MonaraMonara

මිනෝද් භානුක කඩුල්ලෙහි රැඳී සිටිමින් ඡායාරූප සහ මූලාශ්‍රය - www.espncricinfo.com

ACC Men's Emerging Cup ශූරතා තරගාවලියේ අද පැවති තරගයෙන් ලකුණු 12ක තියුණු ජයක් ලබන්නට සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

CCC ක්‍රීඩාංගණයේ පැවති දෙරට අතර තරගයේ කාසියේ වාසියේ ජය හිමිවුණේ ශ්‍රී ලංකා A කණ්ඩායමටයි.

එහිදී පළමුව පන්දු රැකීම තෝරාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇෆ්ගන් A කණ්ඩායමෙන් ජයග්‍රහණයට පන්දුවාර 50ක් තුළ දී ලකුණු 253ක ඉලක්කයක් හිමිවුණා.

ඇෆ්ගන් A කණ්ඩායම වෙනුවෙන් Riaz Hassan ලකුණු 82ක් ද, Noor Ali Zadran ලකුණු 53ක් ද ලබා ගත්තා.

චාමික කරුණාරත්න කඩුලු 03ක් බිඳ දැමුවේ කණ්ඩායමේ ඉහළම කඩුලුලාභියා බවට දිනයේ පත්වෙමින්.

ළහිරු සමරකෝන් සහ දුෂාන් හේමන්ත කඩුලු 02ක බැගින් ද, දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ලක් ද බිඳ දැමුවා.

ජයග්‍රහණයට ලකුණු 253ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ ශීඝ්‍රයෙන් බිඳ දමන්නට ඇෆ්ගන් A කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් වුණා.

එහෙත් සටන ලෙහෙසියෙන් අත් නොහැරිය මිනෝද් භානුක තරගය සියයට 90ක් ම ජයග්‍රහණය කරා ඔසවා තබන්නට සමත් වූයේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිස 09 වැනි කඩුල්ල තෙක් රැඳී සිටිමින් ලකුණු 119ක් සිය කණ්ඩායමේ ලකුණු පුවරුව වෙනුවෙන් එක් කරමින්.

එහෙත් අවාසනාවකට ඔහු දැවී ගියේ එක් කඩුල්ලක් තුළ ලකුණු 30ක ඉලක්කයක් ශ්‍රී ලංකා A කණ්ඩායමට ඉතිරි කරමින්.

අවසන් කඩුල්ලේ දී වුවත් සටන අත් නොහැරි ළහිරු සමරකෝන් දැවැන්ත හයේ පහරවල් දෙකක් එල්ල කරමින් යළිත් ජය මාවත ශ්‍රී ලංකාව දෙසට දෝලනය කරන්න පටන් ගත්තා.

ඔහු එල්ල කළ තෙවැනි උඩු පහර නොසිතූ අන්දමින් රැකගන්නට ඇෆ්ගන් ක්‍රීඩක Mohammad Saleem සමත් වීමත් සමග ඇෆ්ගන් කණ්ඩායමට ලකුණු 12ක තියුණු ජයක් හිමිවුණා.

ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායමේ ජයග්‍රහණය දුරස් වූයේ ලකුණු 241ක් ලබා සිටියදියි.