සාරා ජැස්මින් රැගෙන පලා ගියා කී අබු බකර්, හන්දියක තැඹිලි කපනවා: අබු බකර් වසර තුනක් නිකරුණේ හිරේ ලැගලා
පාස්කු බෝම්බ ප්‍රහාර මාලවෙන් අනතුරුව, සයින්දමරුදු ආරක්ෂක නිවස්නයේ සිදු වූ බෝම්බ පිපිරීමන් පසු සරා ජැස්මින් හෙවත් පුලස්තිනි මහේන්ද්‍රන් නැමති කාන්තව එම ස්ථානයෙන් නගුරු තම්බි අබු බකර් විසින් ඩබල් කැබ් රථයක දමා පැහැරගෙන ගියබව චෝදනා කර තිබුණත්, එය අමූලික අසත්‍යයක් බව ඔප්පු වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති දෙදින විවාදයේ පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, නගුරු තම්බි අබු බකර් නම් පොලිස් නිලධාරියා නොකළ වරදකට වසර තුනකට වැඩි කාලයක් සිරගත ව සිට, ඒවා ඔප්පු කිරීමට ද නොහැකිව මේ වන විට නිදහස ලබා සිටින බවයි.
"අබු බකර්ව ප්‍රසන්න අල්විස් ගිහිං දැම්මා කිව්වට, ඉස්සලාම විමර්ශන කරලා තිබ්බෙ කොළඹ අපරාධ කොට්ටාසය. ඊට පස්සෙ සී.අයි.ඩී එක. ඊට පස්සෙ නීතිපති කියලා ටී.අයි.ඩී එක කෙරුවා. මේ සියලු විමර්ශනවලට පස්සෙ විමර්ශන නිලධාරින්ගෙ රිපෝර්ට් එක නීතිපති දෙපාර්තමේන්තුවට දුන්නා මෙයා කිසි ම වැරද්දක් කරලා නෑ, එයාට නඩු දාන්න එපා කියලා. නමුත් අවාසනාවකට වුණේ, නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉන්ඩයිට්මන්ට් එකක් දැම්මා විමර්ශන නිලධාරින්ගෙ රිපෝර්ට් එක ගණන් ගන්නෙ නැතුව. ඒකයි ඉන්ටර්ඩික් වුණේ."
දැං මං කියන්නම් ඊටත් වඩා දුක හිතෙන කතාව, දැං ඇප ලබාගෙන අවුරුදු තුනක් නිකරුණේ හිරේ ඉඳලා ඇවිත් දැං හන්දියක තැඹිලි කපනවා. ඉතිං ඒ වගේ දේවල් වෙලා තියෙනවා." යනුවෙන් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.
පාස්කු ප්‍රහාර මාලාවෙන් අනතුරුව සයින්දමරුදු ආරක්ෂක නිවස්නයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයේ සාක්ෂි වසන් කළ බවට චෝදනා ලැබූ, එවක අක්කරපත්තුව පොලිසියේ ගරාජය භාරව සිටි නිලධාරියා වූ නාගුරු තම්බි අබුබකර් 2020 ජුලි මාසයේ දී අත්අඩංගුවට ගැනුණා.
එම චෝදනාවට අදාළව අබු බකර් විසින් අදාළ පිපිරීම වූ පසු සාරා ජැස්මින් ව ඩබල් කැබ් රථයක නංවාගෙන එම ස්ථානයෙන් රැගෙන ගිය බවටයි සඳහන් වුණේ.
ඒ අනුව පැවති විමර්ශනවල දී පසුව අනාවරණය වී තිබුණේ, සාරා ජැස්මින්ව නංවාගෙන ගියා කියන ලද ඩබල් කැබ් රථය වසර ගණනාවක් පටං අබලංව අලුත්වැඩියාවට යොමු කර තිබූ එකක් බවත්, අදාළ අවස්ථාව වන විට එය කිසි ලෙසකින්වත් ධාවනයට ගත හැකි මට්ටමක නොතිබුණු බවයි.
පාස්කු ප්‍රහාරය විමර්ෂණය කිරීමේ කමිටුවක ප්‍රධාන විමර්ෂන නිලධාරියා වශයෙන් සේවය කොට විශ්‍රාම ගොස්, මේ වන විට විදේශගත ව සිටින අර්ජුන මාහින්කන්ද විසින් සාරා ජස්මින් පලාගිය බව ඔප්පු කිරීම සඳහා මෙම අබුබකර් නමැති නිළධාරියාට එරෙහිව චෝදනා ගොනු කර තිබුණේ, ඉකුත් 2019 මැයි 02 වැනි දා සහ එම වසරේ ම ජුනි මස 07 වැනි දා තෝරා ගත් නියැදිවලින් ගන්නා ලද ජෛව සාම්පල 26ක් ඔස්සේ කරන ලද DNA පරීක්ෂණ හරහා සාරා ජැස්මින් මිය ගිය බව ඔප්පු කර ගැනීමට අසමත් වූ පසුබිමකයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ පළමු DNA පරීක්ෂණ දෙක ම ඉතා දුර්වල මට්ටමින් සිදු කොට තිබූ බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා සිය පිළිතුරු කතාවේ දී පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කර සිටියේ.
ශ්‍රී ලංකා ගාර්ඩියන් වාර්තා කරන ආකාරයට උක්ත අසාධාරණයකට ලක් වූ නාගුරු තම්බි අබුබකර් නැමැති නිලධාරියා 1988 ජනවාරි 18 වැනි දා උප පොලිස් පරීක්ෂක වරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිසියට බැඳී ඇති අතර, පුහුණුවෙන් පසු ත්‍රිකුණාමලය, උප්පුවේලි, යාපනය ඇතුළු ප්‍රදේශ වල සේවය කර තිබෙන අයෙක්.
1990 දී අනු ඛණ්ඩයක් භාරව කිලිනොච්චි පොලිස් ස්ථානයේ සේවය කර ඇති මෙම නිලධාරියා මේ වන විට 59 වැනි වියේ පසුවන අතර, අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළාක් මෙන් ජීවත් වීම සඳහා කුලීවැඩ කරමින් හා තැඹිලි විකුණනමින් සිටිනවා.