හිටපු පොලිස් පරීක්ෂක ඝාතනයේ සැකකරුවෙකු STF වෙඩි පහරින් මරුට: සැකකරුගෙන් පොලීසියටත් වෙඩි

MonaraMonara

මීටියාගොඩ - තෙල්වත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ පුද්ගලයෙකු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක පමණ පුද්ගලයෙක්.

පාතාල සාමාජිකයෙක් බවට සැක පුද්ගලයෙක් එම ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී නිවසේ සැඟව සිටි සැකකරු විශේෂ කාර්ය බලකායට පිස්තෝලයකින් වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී සැකකරුට වෙඩි වැදී ඇති අතර, රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයා, පසුගියදා ගාල්ල - කරාගොඩ ප්‍රදේශයේදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කළ හිටපු පොලිස් පරීක්ෂක දැඩිමුණි බාලේන්ද්‍රසිංහ මහතාගේ ඝාතනයේ සැකකරුවෙක් බවද පොලීසිය පවසනවා.