ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන පනත් කෙටුම්පත සංශෝධනය කරන ලෙසට ඉල්ලීමක්: ණය දෙන ආයතන ආරක්ෂා කරන පනතක්

MonaraMonara

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන පනත් කෙටුම්පත නැවත සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙසට ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින්.

අදාළ සංශෝධන සිදු කරන තෙක් එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අත්හිටුවන ලෙසයි, ඔවුන් ඉල්ලීමක් සිදු කර ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ මුදල් රාජ්‍ය ඇමතිවරු වන අශෝක සේමසිංහ හා රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් වෙත ඔවුන් ලිපියක් ද යොමු කර තිබෙනවා.

අදාළ පනත් කෙටුම්පතෙන් ණය ලබා දුන් පාර්ශවය ආරක්ෂා කෙරෙන බවයි, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පෙන්වා දෙන්නේ. මෙරට තුළ මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන ඇති බව සඳහන්.

මෙවැනි පනතක් ගෙන ඒම කාලීන අවශ්‍යතාවක් වනවා.

කෙසේ වෙතත් සාධනීය අංග ආරක්ෂා කරමින් නිශේධනීය අංග ඉවත් කර වින්දිතයන් ආරක්ෂා වන අයුරෙන් මේ පතන සංශෝධනය කළ යුතු බවයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පෙන්වා දෙන්නේ.

'ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම' පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටු‌ සාකච්ඡා‌වේ දී ද අදාළ පනත අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

MonaraMonara

ණය දෙන ආයතන 11,000ක්

මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණය සපයන ආයතන 11,000ක් පමණ ක්‍රියාත්මක බවයි, පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කළේ.

ඉන් ලියාපදිංචි වී ආයතන 5ක් පමණක් ලියාපදිංචි වී ඇති බව අමාත්‍යවරයා කියා සිටියා.

"ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු සිදුවිය යුතුයි. නමුත් හොඳ පාලනයක් තිබිය යුතුයි. අපේ රටේ 11,000ක් තියෙනවා ආයතන. නමුත් ලියාපදිංචි වෙලා තියෙන්නේ 5යි. ලියාපදිංචියක් නෑ කියන්නේ නියාමනයක් නෑ. හිතූමතේ වැඩ කරනවා. මේ තුළින් විශාල වශයෙන් ග්‍රාමීය කාන්තාව සුවිශාල ප්‍රශ්නවලට මුහුණදෙනවා. දැන් 30 ලක්ෂයක් ඉන්නවා ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු නිසා අපහසුතාවයට පත්වුණ අයගේ සංවිධාන ගතවෙලා. මේක ජාත්‍යන්තර මට්ටමට ගිය ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා අපි කටයුතු කරගෙන යන්නේ අලුත් නීතියත් එක්ක සියලුම ක්ෂුද්‍ර මුල්‍ය ආයතන ලියාපදිංචි විය යුතුයි. මහ බැංකු නියාමනයට යටත්විය යුතුයි. අනවශ්‍ය අසාධාරණ ලෙස කටයුතු කරන්න මේ ණයගන්න අය වෙනුවෙන් ඔවුන්ට බැරි වෙනවා. මේ නීතිමය අවශ්‍යතාවය සම්පූර්ණය නොකරන අයට ලක්ෂ 50ක දඩයකට සහ වසර 5කට යටත්වූ සිරදඬුවමකටත් යටත් වෙනවා."