දරුණු ඝනයේ බල්ලෙකු වාහනේ දාගෙන කුඩු ඇදලා: නෑනා මස්සිනා ඇතුළු 3ක් දැලේ
මත්ද්‍රව්‍ය වැටලීමකදී පොලිස් නිලධාරීන් බිය ගැන්වීමට සුනඛයකු නංවා ගෙන මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් නව දහස් හාරසියයක් සමඟ නෑනා මස්සිනා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසනවා.
ඒ සමඟ මෝටර් රථයක්, යතුරුපැදියක්, ජංගම දුරකතන හතරක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිවත්තුඩුව යකහලුව ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ නෑනා (26), මස්සිනා (36) සහ හෝමාගම පිටිපන පදිංචි (20) හැවිරිදි පුද්ගලයකු බවයි පොලිසිය පවසන්නේ.
කිරිවත්තුඩුව යකහළුව ප්‍රදේශය හරහා අයිස් මත්ද්‍රව්‍ය රැගෙන පුද්ගලයකු පැමිණෙන බවට පොලිස් කොස්තාපල් (97337) ඒකනායක නිලධාරියාට ලැබී තිබූ තොරතුරක් අනුව වැඩබලන ස්ථානාධිපති ඇම්. කේ. ජගත් මහතාගේ උපදෙස් මත නිලධාරි කණ්ඩායමක් කිරිවත්තුඩුව යකහලුව ප්‍රදේශයට යවා වැටලීමක් සිදු කළ අතර, එහිදී අයිස් මත්ද්‍රව්‍ය පැකට් දෙකක් සන්තකයේ තබා ගෙන යතුරුපැදියක යමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
පසුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම අයිස් මත්ද්‍රව්‍ය කිරිවත්තුඩුව ප්‍රදේශයේ යුවළකට අයත් මත්ද්‍රව්‍ය බවත් දෛනික වැටුපට ඔවුන්ගේ යතුරුපැදියකින් මෙසේ අයිස් මත්ද්‍රව්‍ය ඇණවුම් සඳහා බෙදා හැරීම සිදු කරන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව සැකකරු යතුරුපැදිය සමඟ අත්අඩංගුවට ගෙන ඔහු හරහා ජාවාරම්කරුට ඇමතුමක් දී තවත් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන එන ලෙසට කළ දැනුම් දීමකදී කේන් කෝසෝ වර්ගයේ අධික වටිනාකමකින් යුත් සුනඛයකු ද නංවා ගෙන මෝටර් රථයකින් යුවළක් එම ස්ථානයට පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේදී ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයා පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2900ක් හා කාන්තාව සන්තකයේ තිබී තවත් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6500ක් තිබී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
තවද මත්ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා සම්බන්ධ කරගෙන තිබූ තරුණයාට බලපෑම් කොට බලහත්කාරයෙන් මෙම ජාවාරම සඳහා සම්බන්ධ කර ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔහුට එරෙහිව මීට පෙරද මත්ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු දෙකක් ක්‍රියාත්මක බවද පැවසේ.
මෙම ජාවාරම සඳහා භාවිත කරන මත්ද්‍රව්‍ය මෙරට ප්‍රධාන පෙළේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් මත්ද්‍රව්‍ය බවට පොලිසිය සැක කරන අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා යුවළ රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ශන කෙරේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.