බුදුන් උපන් කාලයටත් වඩා පැරණි දියුණු ජනාවාසයක් යාපනයෙන් මතුවෙයි!: ආචාර්යවරු පවා මවිත කළ අලුත්ම හෙළිදරව්ව මෙන්න

MonaraMonara

යාපනය අර්ධද්වීපයේ කන්දරෝඩෙයි හෙවත් කදුරුගොඩ ප්‍රදේශයේ සිදු කළ පුරාවිද්‍යා කැණීමකින් වසර 3000ක් පමණ පැරණි ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාසයක් හමුවී ති‌බෙනවා.

මෙම පුරාවිද්‍යාත්මක කැණීම් කටයුතු සිදුකර තිබෙන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය සහ රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව ජර්මනියේ බොන් නුවර පිහිටි යුරෝපීය නොවන සංස්කෘතීන් අධ්‍යයන ආයතනය විසින්.

ඒ අනුව 2022/2023 වර්ෂවල කදුරුගොඩ පුරාණ ජනාවාස කැණීම් ආරම්භ කර ඇති අතර ජර්මනියට යවන ලද නියැදි සම්බන්ධයෙන් සිදු කළ කාබන් 14 කාල නිර්ණයට අනුව ක්‍රිස්තු පූර්ව 750 සහ ක්‍රිස්තු පූර්ව 400 දක්වා වූ කාලයක් අඛණ්ඩව පැවති පුරාණ ජනාවාසයක් මෙම ප්‍රදේශයේ පැවැතුණු බවට විද්‍යාත්මකව කාල නිර්ණය කර තිබෙනවා.

කදුරුගොඩ පුරාණ ජනාවාසයේ කැණීම් උපදේශකත්වය සහ මෙහෙයවීම සිදු කර තිබෙන්නේ ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙන් ම දැනට ජර්මනියේ යුරෝපීය නොවන සංස්කෘතීන් අධ්‍යයන ආයතනයේ පුරාවිද්‍යාඥයෙකු ලෙස කටයුතු කරන ආචාර්ය නිමල් පෙරේරා විසින් වීම විශේෂත්වයක්.

බුද්ධෝත්පාද කාලයට සහ විජයාගමනයටත් පෙර ශ්‍රී ලංකාවේ දියුණු ජනාවාස පැවතී ඇති බවත් කෘෂිකාර්මික දිවිපෙවෙතක් ගතකළ, යකඩ සහ මැටි මෙවලම් භාවිත කළ පුරාණ ශිෂ්ටාචාරයක් යාපනය දිස්ත්‍රික්කයේ සියවස් ගණනාවක් අඛණ්ඩව පැවති බවයි මේ තුළින් සනාථ වී තිබෙන්නේ.

අනුරාධපුර ඇතුළු නුවර, තිස්සමහාරාම, අකුරුගොඩ, වයඹ පළාතේ මාතොට සහ යාපනයේ කදුරුගොඩ සමකාලීන ජනාවාස පැවති බවට දැනටමත් තහවුරු වී තිබෙන බවත් පැවසෙනවා.

ජර්මනියේ යුරෝපීය නොවන සංස්කෘතීන් අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය අරියානි සසෙක්ස්, යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සිවබරි සහ රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය නුවන් අබේරත්න, කදුරුගොඩ කැණීම් ව්‍යාපෘතියේ සම්පත් දායකයන් ලෙස ක්‍රියා කර තිබෙනවා.