අධිකරණයේ නඩු භාණ්ඩ සොරකමට 5ක් කොටුවෙයි: හෙරොයින් සහ ගිනි අවිත් ඒ අතර

MonaraMonara

මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ හෙරොයින් සහ ගිනි අවි සොරකමට අදාළව සැකකරුවන් 5ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නිරත බහු කාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනෙකුද සිටින බව පොලීසිය පවසනවා.

නඩු භාණ්ඩ කාමරයේ තිබූ භාණ්ඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජූලි මස 12 වනදා අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණා.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී නොවැම්බර් මස 26 වනදා සහ 28 වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නිරත බහු කාර්ය සංවර්ධන නිලධාරීන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21 සහ 29 හැවිරිදි වියේ පසුවන මාතර නාවිමන සහ කැකණදුර ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නිරත තවත් පුද්ගලයෙකු මෙම සිදුවීමට සම්බන්ධව ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ 27 හැවිරිදි වියේ පසුවන තුඩාව ප්‍රදේශයේ පදිංචි අධිකරණයේ සේවයේ නිරත බහු කාර්ය සංවර්ධන නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී මෙම සැකකරුවන් විසින් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ T56 වර්ගයේ ගිනි අවියක් සහ රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සොරකම් කර තිබෙනවා.

ඉන් රිවෝල්වර් වර්ගයේ ගිනි අවිය තවත් පුද්ගලයෙකු හා සම්බන්ධ වී රුපියල් 280,000ක මුදලකට අලෙවි කර තිබෙනවා.

ඊට සම්බන්ධ අනෙක් පුද්ගලයාද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 37 හැවිරිදි වියේ පසුවන තුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එසේම රිවෝල්වර් වර්ගයේ ගිනි අවිය මිලදීගත් 32 හැවිරිදි වියේ පසුවන සැකකරු ද විමර්ශන අතරතුරදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර සැකකරුවන් විසින් සොරකම් කර ඇති T56 වර්ගයේ ගිනි අවිය පසුගිය අගෝස්තු මස 08 වනදා දික්වැල්ල පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සඳහා භාවිත කරන ලද ගිනි අවිය බවටද හෙළිවී තිබෙනවා.

මෙම ගිනි අවියද සැකකරුවන් විසින් රුපියල් 250,000ක මුදලකට අලෙවි කර ඇති අතර එය මිලදීගත් පුද්ගලයා සොයා මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.

මින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අධිකරණයේ සේවයේ නිරතව සිටි බහු කාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරනවා.

අනෙක් සැකකරුවන් දෙදෙනා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 15 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.