සල්ෆර් යොදා ඔපදැමූ කොත්තමල්ලී කිලෝ 2500 ක් කල්මුණේ: පාරිභෝගික අධිකාරිය තොගයම විනාශ කරයි

MonaraMonara

පරිභෝජනයට නුසුදුසු ආකාරයට කොත්තමල්ලී සල්ෆර් යොදා ඔපදමා සකස් කර නැවත වෙළඳපලට නිකුත් කරන ස්ථානයක් කල්මුණේ ප්‍රදේශයේදී වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමත් වුණා.

ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයට ලද පැමිණිල්ලකට අනුව සිදුකරන ලද වැටලීමකදීයී.

අදාළ වැටලීම අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතාගේ සෘජු අධීක්ෂණය හා මඟ පෙන්විම යටතේ අම්පාර දිස්ත්‍රික් කාර්යාල විමර්ශන නිලධාරීන් විසින් සිදුකර තිබෙනවා.

එම ස්ථානය වටලා කොත්තමල්ලී තොගය මුද්‍රා තබා කල්මූණේ අධිකරණයේ නඩු පැවරීමෙන් අනතුරුව අධිකරණය විසින් එම කොත්තමල්ලී සම්බන්ධ වාර්තාවක් කාර්මික තාක්ෂණ ආයතනයෙන් කැඳවනු ලැබුවා.

එහිදි මෙම කොත්තමල්ලීවල සල්ෆර් අඩංගු බවත්, පරිභෝජනයට නුසුදුසු බවත් වාර්තාවලින් සහතික කර අධිකරණයට වාර්තා කර තිබු අතර ඉන් අනතුරුව කල්මුණේ මහේස්ත්‍රාත්වරයා විසින් විත්තිකරුට රුපියල් ලක්ෂයක දඩ නියම කර තිබෙනවා.

එමෙන්ම, කොත්තමල්ලී කිලෝග්‍රෑම් 2500ක ප්‍රමාණය විනාශ කිරිමට අධිකරණය නියෝග කළ අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ විසිපහකට පමණ ආසන්න බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි‌යේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මෙම කොත්තමල්ලී තොගය කල්මුණේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී විනාශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.