කෝටි 11 ක දුම්වැටි රේගු භාරයට: අහිමි වීමට ගිය බදු ආදායම කෝටි 31 ක්

MonaraMonara

රුපියල් කෝටි එකොළහක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගු මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

දුම්වැටි හතලිස් පන් ලක්ෂයක් රේගුවට ප්‍රකාශ නොකර , නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට බහාලුමක් තුළ බහා කොළඹ වරායට ගෙනැවිත් තිබියදීයි එලෙස රේගු භාරයට ගෙනවිත් ඇත්තේ.

කොළඹ ග්‍රෑන්ඩ්පාස් - ග්‍රේ ලයින් බහාලුම් අංගයේදී මෙම දුම්වැටි තොගය ඊයේ පස්වරුවේ රේගු භාරයට ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා කියා සිටියේ.

ඉන්දියාවේ රේගු බුද්ධි අංශය විසින් ශ්‍රී ලංකාවේ රේගු බුද්ධි අංශයේ නිලධාරීන් වෙත ලබාදුන් තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

මෙම බහාලුම පසුගිය 07 වැනිදා ඉන්දියාවේ - කට්ටුපල්ල වරායේ සිට කොළඹ වරායට පැමිණ ඇති බව සඳහන්.

වත්තල ප්‍රදේශයේ ආනයනකරුවෙකු විසින් "100% කපු රෙදි සහ ප්ලාස්ටික් බොත්තම් " ලෙස රේගු නිලධාරීන් වෙත ප්‍රකාශ කර තිබූ මෙම බහාලුම තුළ එවැනි කිසිවක් නොතිබුණු බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

මෙම දුම්වැටි තොගය කොළඹ වරායෙන් පිට කර ගත්තේ නම් රුපියල් තිස් එක් කෝටි හැට ලක්ෂයක තීරු බදු ආදායමක් ශ්‍රී ලංකාවට අහිමි වන බවයි ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ.

මෙම නීතිවිරෝධී ආනයනය සම්බන්ධයෙන් මෙම බහාලුම නිදහස් කර ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර රේගු බුද්ධි අංශ නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනවා.